පොහොර සමාගම් සතුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර තිබෙන බවත් පොහොර හිග වී මිල ඉහළ යන බවට පැතිර යන්නේ බොරු ප්‍රචාරයන් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටින්නේ,
පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් අද (02) දින ගොවිජන මන්දිරයේදී පැවැති බවත් පොහොර සමාගම් සමඟ අද දින සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කරගත් බවත්ය.
යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් සිය එකඟතාවය පළ කළ බවත් ඔහු සඳහන් කරයි. ඒ අනුව ලෝක වෙළඳපොළේ පොහොර මිල වැඩි වුවද, MOP පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත් පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවයක් නොපවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වගකීමෙන් ප්‍රකාශ කරන බවද කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ සඳහන් කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ සඳහන් කර සිටින්නේ, දැනට මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තහවුරු කළ බවයි.
රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින බවත් රට තුළ පවතින මුළු TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,200කට ආසන්න වන බවත්ය. MOP පොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බවද රාජ්‍ය පොහොර සංස්ථාවේ සතුව ටොන් 15,000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69,000කට ආසන්න වන බවද රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ සඳහන් කරයි. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් රට තුළ පවතින බවත්, තම සමාගම සතුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 4,000ක් ඇති බවත් ඊට අමතරව තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 5,000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවත් ඔහු අනාවරණය කරයි.
පොහොර හිඟයක් පවතින බැවින් පොහොරවල මිල වැඩිවන බවට ව්‍යාජ පුවත් සංසරණය වීමට හසු නොවී සිටින ලෙස ගොවි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ වැඩිදුරටත් සඳහන් කර සිටී.
Saru FM Media