2020 වසරේ සිට පසුගිය මස 01 වැනිදා දක්වා පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගල මරණ 49ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.Sri Lanka Latest News
එවැනි මරණ වළක්වා ගැනීම සදහා එම කොමිසම විසින් පොලීසියට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශන සහ නිර්දේශයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ එම කොමිසමේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය කියා සිටියේ අදාළ කාලසීමාවේදී පොලීසිය සමග සිදුවූ ගැටුම්වලදී මරණ 30ක් ද සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.
අත්අඩංගුවේ සිටියදී මියයෑම් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටි පොලිස් ස්ථාන හෝ කොට්ඨාස ආශ්‍රිතව සිදුව ඇති බව ද ඔහු සදහන් කළේය.
ඒ අනුව, මෙවැනි මරණ අවම කිරීම සදහා නිර්දේශ රැසක් මානව හිමිකම් කොමිසම පොලිසියට ඉදිරිපත් කර තිබේ.
පොලිස් ස්ථානයේ පිළිගැනිමේ ප්‍රදේශය, සිර මැදිරි, ආලින්ද, වෙනත් ස්ථානවල සහ වෙනත් බලයලත් රැදවුම් ස්ථානවල ක්‍රියාකාරකම් පටිගත කිරීම සදහා සී.සී.ටී.වී. කැමරා පද්ධති ස්ථාපිත කළ යුතු බවට ද එමගින් නිර්දේශ කෙරිණි.
එමෙන්ම රඳවා සිටින පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමේ අවදානමක් නිරීක්ෂණය වුවහොත් එම රැදවියා භාරව සිටින පොලිස් නිලධාරියා විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින් හා සුදුසු වෛද්‍ය වෘත්තිකයෙකු සම්බන්ධ කළ යුතු බවද අදාළ නිර්දේශවල දක්වා තිබේ.
එසේම, විමර්ශන කාර්යයන් සදහා රැඳවියෙකු පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන ගියහොත් ඒ සඳහා බලය දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා රැදවියාගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් පූර්ණ වගකීම භාරගත යුතු බව ද එහි දැක්වේ.
Saru FM Media