පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

0
15


අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැ. මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවා. බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇති. ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ. එහෙමනම් දරුවන්ට කන බොන එකත් අම්මලාට කවන පොවන එකත් කරදරයක් නොවන විදිහට අපි මේ ගණුදෙණුව ඉදිරියට ගෙනි යමු.

බොහෝ වෛද්‍යවරුන් කියන්නේ දරුවන්ට ආහාර දීමට බල කරන්න එපා යන්නයි. ඇත්තටම බල කිරීම දරුවාට වධයක්. ඒ නිසාම ඔවුන් මව්පියන් කෝප ගන්වන විදිහටත් හැසිරෙනවා. සාමාන්‍ය වයසකට ආ විට දරුවාගේ ආහාර මේසයක් මත තබා ඔබ ඔහුට බල කරන්කේ නැතුව සිටියොත් ඔහුම ඒ වෙත යොමු වෙන තරමටම තත්වය සාමාන්‍ය විය හැකියි.

දරුවාගේ ආහාරය බැලු බැල්මටම ආකර්ශණීය වුනොත් ඔහු තුළ නොදැනම ආහාර රුචිය ගොඩ නැගෙන්න පුළුවනි. මේ වෙනුවෙන් ඔබ තෝරා ගන්නා ආහාරය ඉතා වැදගත් වේවි. එහි වර්ණවත් බව ගොඩ නැගෙන විදිහට පිලියෙළ කරන්න.

එකම වර්ණයේ ආහාර වෙනුවට විවිධ වර්ණ කෝරා ගන්න. උදාහරන විදිහට බෝංචි, කැරට් , බීට් විදිහට.

බත් කෝප්පයක් විදිහට… එහෙම නැත්නම් කෙසෙල් කොළයක ගැට ගසා.. කැන්ද කොළ , නෙළුම් කොළ එලන ලද වට්ටියක…

ඔබට බත් කෝප්පයක් ගෙන එය කෝම්පිට්ටුව සේ පිඟානක මුනින් නවා එහි බිත්තර පලු වලින් ඇස් තබන්න. කැරට් පලුවක් ගෙන කට ලෙසින් සරසන්න. බත් කෝප්පයෙන් මිනිස් හැඩ රුව මවන්න. දරුවාට එය මහත් ආකර්ශනයක් ඇති කිරීමට පුලුවන්.

හැමදාම බත්, පරිප්පු සහ අලුත් මාලු වෙනුනට මෙම රටාවේ වෙනසක් ගොඩ නගන්න. ඔබට බත්  තෙම්පරාදුවක්. එළවලු බතක් එසේත් නැත්නම් කහ බතක් ලෙසින් විවිධ අන්දමින් පිලියෙල කර ගත හැකියි.

එලවළු වුනත් ඒ විදිහට එකාකාර රටාවෙන්ම පිලියෙල නොකරන්න. එකාකාර කැරට් ව්‍යංජනය විදිහට මැල්ලුමක්, සලාදයක් එහෙම නැත්නම් තම්බා ගෙන විවිධත්වයක් ගොඩ නගා ගත හැකියි. පලා වර්ග වුනත් එහෙමයි. පලා මලවන්නම නියමයක් නැහැ. ඒවා සලාද විදිහටත් පුළුවන්. ඒ වගේම මුකුණුවැන්න , ගොටුකොළ මිටිකිරි ස්වල්පයක් දමා පිසගන්නත් පුළුවන්. ‍ගොටුකොල වැනි පලා වර්ග සුප් එකට යොදන්න. එයින් දරුවාට උගුරට හොරා බේත් කවන්නා සේ ඔහු නොදැනම අවශය පෝෂණය ලබා දීමට හැකි වේ.

ආහාරවල ගැලපීමක්බොහෝ දරුවන්ට ආහාර අප්‍රිය වන්නේ එහි කිසිදු ගැලපීමක් නැති නිසාය. කිසිම විට හොදි සහිත ව්‍යංජන දෙකක් එක් වේලට පිළියෙල නොකරන්න. එක් හොදි ව්‍යංජනයක් සමග මිරිසට හෝ බොරට එකක්ද මැල්ලුමක් සලාදයක් වැනි වෙන් ආකාරයකට පිසින ලද දෙයක් එක් කරන්න.

දරුවාට ආහාර දෙන විට එකාකාර රටාවට මේසයටම දෙන්න එපා. තුන්සිය හැටපස් දවසේම මේසයේ ආහාර ගන්නා විට දරුවාට එතැන අප්‍රසන්න ස්ථානයක් වෙනු ඇති මේ නිසා වෙනසක් ඇති වෙන විදිහට පැදුරක් බිම එලා එම ස්ථානයේ දරුවා තබන්න. සෙල්ලම් ගෙයක සෙල්ලම් කරන විට එතැනට ආහාර ගෙන ගොස් ඔහුගේ නිවසේ අමුත්තකේ ලෙසින් ඔබ සිටින්න. මේ අන්දමින් ඇති වෙන වෙනස නිසා ඔහුගේ ආහාර රුචිය ඇති වෙනවා පමණක් නොව ඔබට වධයක් නොවන විදිහට ඔහු ආහාරය බුත්ති විඳිනු ඇත.

නිවසේදී ආහාර ගන්නා වේලාවට යුද්ධයක් කරන, මට අරක එපා… මේක එපා…යැයි ඔබ ආවේශ කරන දරුවා පිටස්තර තැනකදී කිසිම කරදරයක් නොකර ඔබ නොහිතන අන්දමින් ප්‍රමාණාත්මක බත් පිගානක් ආහාරයට ගන්නා අවස්ථාවන් ඇත.

එවන් අවස්ථාවලදි මේ අන්දමින් කතා බහත් ගොඩ නැගෙනු ඇත.

අද බත් හොඳට කෑවා…ගෙදරදී පලා කොලයක් කවා ගන්න බෑ …..අද…? කවුරුවත්ම කිව්වෙත් නෑ එයාම හිතල කෑවා..ඇත්තටම මෙතැන ඇති රහස මොකක්ද…?

මේ නිසා ඔහුට රිසි සේ ආහාර බුත්ති විදින නිදහස ලැබුණි. වෙනදා මෙන් පුතා…බත් කන්න…යන ඇවිටිල්ල නැතිව ඇති.

බත් නොකන දරුවන් වෙනුවෙන් ඉතා හොඳ කතන්දරයක් ඇත. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ උඩගිය බබා කථාන්දරය ඇසූ දිනයේ පටන් මම බත් කෑමට කිසිම කරදරයක් කළේ නැත. මේ කතා‍ව කිසිම කෙනෙක් විසින් මගේ මනසට දැම්මේද නැත. මගේම අවශ්‍යතාවයෙන් එම ළමා පොත කියවූ දින පටන් ඇති වුනේ බත් නොකැවොත් උඩ යයි යන බියය. ඒ නිසා මගේ උවමනාවෙන්ම බත් කන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.

අපේ අම්මා මට බත් කැව්වේ කුරුල්ලන් ලෙස ගුලි සකසා ගෙන එක් එක් ගුලිය කටට දැම්මේ කුරුල්ලන් ඉගිලි යන අන්දම කියමින් කටට බත් කටවල් ඇතුල් කිරීමයි. ඇය ඉතා රසට බත් ටික අනා ඒවා ගුලි කිහිපයකට පිඟානේ තබා ගනීත මා නොකන සියල්ල නොදැනෙන ලෙසින් මේ බත් ගුලිවල අනා ඇති නිසා වෙන් වෙන් වශයෙන් ඒවා නොකන්නේ යැයි ප්‍රතික්ෂෙප කරන්නේද නැත.අන්තිම බත් ගුලිය නොකන තැනට පත් වුනොත් අනේ මේ චූටි කුරුල්ලාට පව්…අම්මා ගෙදර යන්න බැරි වෙලා…ලෙසින් වූ ඉකාම සම්‍ය ප්‍රයෝග ඇය දැන සිටියාය. මට ප්‍රමාණවත් ලෙසින් බත් පිගානට කුරුල්ලන් සකසා ගන්නටද ඇය දැන සිටියාය.ඒ නිසා දකින විටම එපා වෙන අන්දමින් විශාල බත් පිගානක් බෙදා ගෙන ඇවිත් එය කන්න යැයි පෙරැත්තයක් කිසිදු දිනක සිදු වුනේ නැත.

බත් හෙවත් ප්‍රධාන ආහාරයෙන් පසුව දරුවාට අතුරුපසක් ලබා දෙන්න. ඒ වෙනුවෙන් ඔහු බත් ආහාරයට ගත යුතු බව දන්නා නිසාම යම් අන්දමින් උනන්දුවක් ඇති කර ගනු ඇත. මෙම අතුරුපස පලතුරු සලාදයක් වුනොත් එය වඩාත් ගුණදායක වේ. සලාද ලෙසින් අකමැත්තේ නම් ප්‍රිය කරන පළතුරක් ආහාරයට දෙන්න. එසේත් නැත්නම් රසකැවිල්ලක් වුනත් කමක් නැත. ආහාර අවශෝෂනය වෙනුවෙන් ප්‍රධාන ආහාරයට පසුව සීනි හෙවත් පැණි රස වඩාත් ප්‍රතිඵලදායක බැනවි වෛද්‍යවරුන් විසින්ද අනුමත කොට ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here