වයස අවුරුදු 3 සිට 5 දක්වා දරුවන්ට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ (online) ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැණි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වාණිජ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි ‘Online සම්මන්ත්රණ’ මඟින් දරුවාගේ අධ්‍යාපනික ප්‍රමිතිය ඉහළ නොයන අතර, එය ඔවුන්ගේ ස්වභාවික වර්ධනයට බාධාවක් බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව, වයස අවුරුදු 3-5 අතර පසුවන දරුවකුගේ ඉගෙනුම සිදුවිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් (Activity-based) සහ සමාජීය අන්තර්ක්‍රියා (Social Interaction) සහිත පරිසරයකය. තිරයක් (Screen) දෙස බලා සිටිමින් ලබාගන්නා අධ්‍යාපනය දරුවාගේ සමාජීය කුසලතා වර්ධනය අඩාළ කරයි. අවධානය රඳවා ගැනීමේ හැකියාව (Attention Span) හීන කරයි. නිර්මාණාත්මක චින්තනයට බාධා පමුණුවයි. කුඩා දරුවන් අධික ලෙස තාක්ෂණික මෙවලම්වලට නිරාවරණය කිරීම ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍යයට (විශේෂයෙන් පෙනීම සහ මොළයේ වර්ධනයට) අහිතකර බැවින්, එවැනි වයස් කාණ්ඩ සඳහා මාර්ගගත පන්ති පැවැත්වීම අනුමත නොකරන බව ද අමාත්‍යාංශය එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව, පූර්ව ළමාවිය සංවර්ධනයේදී දරුවා සජීවීව පරිසරය සමඟ ගනුදෙනු කළ යුතුය. දරුවෙකුගේ හොඳම ගුරුවරයා, පරිසරය සහ සජීවී අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බව ද සඳහන් කරන අමාත්‍යාංශය දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව සලකා බලා මෙවැනි ක්‍රියාකාරකම්වලට දරුවන් යොමු නොකරන ලෙස වැඩිහිටියන්ට දැනුම් දෙයි.
Saru News
















