
කුරුණෑගල, පන්සියගම ප්‍රදේශයේ නිවෙසක සිදුකළ ශාන්තිකර්මයකදී රන් ආභරණ සොරාගත් ඉන්දීය ජාතික පූජකවරයෙකු අවසානයේ අත්අඩංගුවට පත්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය විසින් කරන ලද නිවේදනයකට අනුව, නිවැසියන් අතර රෝගී තත්ත්වයන් ඇතිවන්නේ ඔවුන් පැළඳ සිටින රන් ආභරණවල ඇති “අපල” හෝ දෝෂ නිසා යැයි පැවසීමෙන් ජනතාව රවටා,
එම රන් ආභරණ ව්‍යාජ ඒවා සමග මාරු කිරීමෙන් රුපියල් දෙලක්ෂ හැටදහසකට අධික වටිනාකමකින් යුත් රන් මුදු හා මාල සොරාගෙන පලා ගිය බව වාර්තා විය.
සිද්ධියෙන් මාස දෙකකට පමණ පසුව, දුරකතන විශ්ලේෂණ මගින් ලද තොරතුරු මත පදනම්ව, පසුගිය 18 වැනි දින සවස් යාමයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉන්දියානු දමිළ ජාතිකයෙකු වන අතර, ඔහු දැනට පුත්තලම, මන්නාරම පාර ලිපිනයේ පදිංචිව සිටින බව පොලිසිය තහවුරු කර ඇත.
පන්සියගම පොලිස් වසමට අයත් නිවෙසක සිදුකළ ශාන්තිකර්මයකදී නියම රන්බඩු අතුරුදන්ව ඇති බවට 2025 පෙබරවාරි මස 26 වැනි දින පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි. මෙම පැමිණිල්ල මත පදනම්ව,
පොලිසිය විස්තීරණ විමර්ශනයක් ආරම්භ කර ඇත.
විමර්ශන අනාවරණය කළ කරුණු අනුව, සැකකරු මුලින්ම “නිවෙසේ කැඩුණු විදුලි උපකරණ අලුත්වැඩියා කරන” මුවාවෙන් පීඩිතයාගේ නිවසට පැමිණ ඇත. එහිදී ඔහු නිවෙසේ සිටි කාන්තාවට තමාට සාස්තර කීමට හැකි බවත්, දරු දෙදෙනා නිතර නිතර රෝගාතුර වන්නේ යම්කිසි “අපලයක්” නිසා බවත් පවසා ඇත. මෙම අපල දුරු කරගැනීම සඳහා ශාන්තිකර්මයක් කරන ලෙස උපදෙස් දී, සැකකරු තම ජංගම දුරකතන අංකය දී පිටව ගොස් ඇත.
පසුව, කාන්තාව මෙම තොරතුරු තම සැමියාට දැනුම් දී ඇති අතර, දෙදෙනාම සැකකරු කෙරෙහි විශ්වාසය තබා, 2025 පෙබරවාරි 19 වැනි දින ශාන්තිකර්මයක් සිදු කිරීම සඳහා ඔහුව නිවසට කැඳවාගෙන ඇත.
ශාන්තිකර්ම පවත්වන අවස්ථාවේදී, සැකකරු පවුලේ සාමාජිකයන්ගේ “අපල” ඉවත් කිරීමේ නාමයෙන් ඔවුන් පැළඳ සිටි රන් ආභරණ ගලවා දෙන ලෙස ඉල්ලා ඇත. මෙහිදී බිරිය, සැමියා සහ දරුවන් දෙදෙනා පැළඳ සිටි රන් මාල තුනක්, පෙන්ඩන් දෙකක් සහ අත් මුද්දක් යන ආභරණ සැකකරුට භාර දී ඇත. සැකකරු මෙම ආභරණ සුදු රෙදි කැබැල්ලක ඔතා, තමා නැවත පැමිණෙන තුරු නිවැසියන්ගේ නිදන කොට්ටය යට තබන ලෙස උපදෙස් දී, නිවසින් පිටව ගොස් ඇත.
ඉන්පසු, සැකකරු පෙබරවාරි 22 වැනි දින රාත්‍රියේ නැවත පැමිණ, කොට්ටය යටින් සුදු රෙදි කැබැල්ලේ තිබූ ආභරණ ඉවත් කර, රතු පාට රෙදි කැබැල්ලක ඒවා ඔතා ඇත.
ඔහු “වස් දොස් ගියා දැයි බලන්නට” යැයි පවසමින් එළියට ගොස්, “පෑගුණු වැලි” රැගෙන පස්සට පස්සට හෙමින් නිවස තුළට ඇතුළු වන ලෙස නිවැසියන්ට උපදෙස් දී ඇත. නිවැසියන් ඔහුගේ උපදෙස් පරිදි ක්‍රියා කර ඇති අතර, සැකකරු නැවතත් රතු රෙදි කැබැල්ලක ඔතා ඇතැයි කියන ආභරණ කොට්ටය මත තබන ලෙස උපදෙස් දී නිවසින් පිටව ගොස් ඇත.
කෙසේ වෙතත්, සැකකරු නැවත නොපැමිණීම සහ ඔහුගේ දුරකතන අංකය භාවිතයේ නොතිබීම හේතුවෙන් සැක ඇති වූ නිවැසියන්, කොට්ටය යට තිබූ රෙදි කැබැල්ල පරීක්ෂා කිරීමේදී, එහි ඔවුන්ගේ රන් ආභරණ නොතිබූ බව දැක, අපරාධය ගැන පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල මත පදනම්ව, පොලිසිය සැකකරුගේ දුරකතන විස්තර විශ්ලේෂණය කර ඇත. අනතුරුව, මහව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට, අධිකරණ අනුමැතිය මත ඉදිරි පියවර ගැනීමට කටයුතු කර ඇත.
පොලිසිය නිර්මාණශීලී ක්‍රමවේදයක් භාවිතා කරමින්, ස්ථානාධිපතිවරයා සහ පොලිස් සැරයන්වරයකු පන්සලක ලොකු හාමුදුරුවෝ සහ ගෝල හාමුදුරුවෝ ලෙස වෙස්වලාගෙන, සැකකරුට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
ඔවුන් පන්සලේ ශාන්තිකර්මයක් පැවැත්වීමට අවශ්‍ය බව පවසමින් සැකකරුගේ විශ්වාසය දිනාගෙන, ඔහුව පන්සියගම පොලිස් වසමට කැඳවාගෙන ඇත. මෙලෙස ගෙන්වාගත් සැකකරු, පසුගිය 18 වැනි දින සවස් යාමයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වූ කරුණු අනුව, සැකකරු සොරාගත් සියලු රන් ආභරණ පොළොන්නරුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකට විකුණා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
Saru FM Media