පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්, ඇහැ ඉදිමිලා, රතු වෙලා …

0
14


“ඊයේ පුංචි ගෙඩියක් ඇස් පිල්ලමේ තිබුණා.. ඒත් කවුද හිතුවේ අද උදේ වෙද්දි මෙහෙම වෙයි කියලා.”මේ අපි කාටත් හිතෙන විදිය. ඇත්තටම මෙවැනි තත්ත්වයක් ගැන මේ ඔබේ පළමු අත්දැකීම නම් වරදක් කියන්නත් බැහැ. ඒත් මේ තත්ත්වයට අවශ්‍ය ක‍ෂණික පියවර ගන්න නම් මව්වරුන් දැනුවත්ව සිටීම හරිම වැදගත් වෙනවා. මොකද අපි මේ ඔබට තොරතුරු ගෙනෙන්නට යන්නේ Periorbital Cellulitis නම් වූ තරමක් භයානක, නිසි අවධානය යටතේ ඖෂධ මගින් සුව කළ හැකි තත්ත්වය පිළිබදවයි.

ඇස් පිය සහ පටක අතර ඇතිවන තරමක භයානක ආසාදනයක් වන Periorbital Cellulitis තත්ත්වය නිසි අවස්ථාවේදී හඳුනා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වුවහොත් ඉතා හොඳින් පාලනය කළ හැකි තත්ත්වයකි. මෙය සාමාන්‍යයෙන් හටගන්නේ එක් ඇසක වන අතරම බොහෝවිට අනෙක් ඇසට ගමන්ගන්නා අවස්ථා නැති තරම්ය. මේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ වයස අවුරුදු 10ට අඩු දරුවන් අතරය.

ඇස වටා කැසීමෙන් හෝ හිස කෙස්වල උකුණන් සිටීම නිසා හටගන්නා කැසීම හේතුවෙන් ඇති වන තුවාලද වෙනත් කුඩා කෘමි සතෙකුගේ සපාකෑමක් වැනි තත්ත්වයන් හේතුවෙන් මෙසේ බැක්ටීරියා ආසාදනයන් ඇති විය හැකිය. එසේම කෝටර දාහය/ නාසාරන්ධ‍්‍ර ඉදිමීම (sinusitis), ඇසට සිදු වූ කුඩා තුවාල හෝ සැත්කම්, අපිරිසිදුකම වැනි සාධක ද Periorbital Cellulitis තත්ත්වය ඇති වීමට බලපෑ හැකිය.

මෙහිදී මූලිකවම ක්‍රියාත්මක වන බැක්ටීරියාවන් වන්නේ Staphylococcus හෝ Streptococcus වර්ගයේ බැක්ටීරියාවන්ය. ඊට අමතරව  Haem  ophilus influenzae බැක්ටීරියාව නිසා ද ඇතැම් අවස්ථාවල මේ තත්ත්වය ඇති වූ බව සොයාගෙන ඇත.

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය.

ඔබගේ දරුවාගේ රෝගි තත්වය අනුව වෛද්‍යවරයා ප්‍රතිජීවක නියම කරනු ඇත. එහිදී දරුවාට ප්‍රතිජීවක ඖෂධ වර්ග පානය කිරිමට හෝ ඇතැම් අවස්ථාවලදී එන්නත් මාලාවක් ඔස්සේ පැය 48ක් ඇතුළත ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම සිදුකරයි. අවශ්‍ය වුව හොත් විශේෂ්‍ය අක්ෂි වෛද්‍යවරයකු වෙතද යොමු කරනු ඇත.

කලාතුරකින් මෙම Periorbital Cellulitis තත්ත්වය Orbital Cellulitis තෙක් වර්ධනය වන අවස්ථා ද දැක ගත හැකි අතරම එය තරමක භයානක තත්ත්වයකි. මුල් අවධියේදීම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් මේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. මෙම දෙවනි තත්ත්වයේදී ඇස වටා ඇති පටක ආසාදනයට ලක්වීමක් ඇති වන අතරම එමගින් දෘෂ්‍ය ආබාධ පමණක් නොව ඇතැම්විට දරුවාගේ ජීවිතය පවා අවධානමට ලක්විය හැකිය. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එබැවිනි.

Orbital Cellulitis තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් දෘෂ්‍යභාධ, මෙනෙන්ජයිටීස් මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ ද ඇති විය හැකිය. නමුත් නියමිත ප්‍රතිකාර සමගින් මේ තත්ත්වයන් වුවද වළක්වා ගැනීමට හැකියාව පවතී. ඒ නිසා හැමවිටම දරුවාගේ රෝග ලක‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here