පිල්ලෙයාන්, රනිල්, ගම්මන්පිල අතර ඇති රහසිගත ගිවිසුම මොකක්ද? Sri Lanka Latest News

0
7


පසුගියදා අත්අඩංගුවට පත්වුණු හිටපු කොටි නායකයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර පවතින රහසිගත සම්බන්ධයක් ගැන නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා හෙළිදරව් කරනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් අමිල එගොඩමහවත්ත මහතා සිදුකළ එම හෙළිදරව්ව පහත පළවේ. Sri Lanka Latest News

ඔබ දන්නවා මේ වෙනකොට පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන ඉන්නේ. ඒ වගේම ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිද්ධ කරනවා. මේක නෙවෙයි සුවිශේෂ කාරණය. පිල්ලෙයාන් මේ ආකාරයට රැඳවුම් භාරයේ සිටිද්දී රටේ ප්‍රසිද්ධ චරිත දෙකක් පිල්ලෙයාන් සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරලා තියෙනවා. එක චරිතයක් නීත්‍යානුකූල නොවන මාර්ගයටත්, තවත් චරිතයක් නීත්‍යනුකූල මාර්ගයටත් උත්සාහ කරලා තියෙනවා මේ පිල්ලෙයාන් සමග යම් කතාබහක යම් ගනුදෙනුවක නිරත වෙන්න. අපිට වැදගත් වෙන්නේ මෙහෙම අපරාධ චෝදනාවක් ලබලා ඉන්න, අපරාධ ඉතිහාසයක් තියෙන පිල්ලෙයාන් එක්ක, මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් වන රනිල් වික්‍රමසිංහටත්, මේ රටේ සිංහලකම, බෞද්ධකම, නොයෙකුත් ආකාරයේ ජාතිමාමකත්වය වෙනුවෙන් පෙනීසිටපු උදය ගම්මන්පිලටත් මොකක්ද තියෙන ගනුදෙනුව කියන කාරණාව.
මුලින්ම ගත්තොත් මෙහිදී උදය ගම්මන්පිල නීත්‍යනුකූල මාර්ගයෙන් උත්සාහ කරලා තියෙනවා පිල්ලෙයාන් සමග ගනුදෙනු කරන්න. නීත්‍යනුකූල මාර්ගයෙන් කියලා කියන්නේ නීතිඥවරු වශයෙන් අපි දන්නවා යම් අත්අඩංගුවක, රිමාන්ඩ් භාරයක,බන්ධනාගාරයක එහෙම නැත්නම් යම් විශේෂ පොලිස් විමර්ශන ඒකකයක රඳවාගෙන ඉන්න රැඳවියෙක් සැකකරුවෙක් සමග නීතිමය වශයෙන් උපදෙස් ලබාදීමටත්, ලබාගැනීමටත් නීතිඥයකුට අවස්ථාවක් තියෙනවා. ඒක මේ රටේ නීතියෙන් සලසලා තියෙන අවස්ථාවක්. ඕනෑම පුද්ගලයෙකුට නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව උදය ගම්මන්පිල ඊමේල් පණිවුඩයක් හරහා ඉල්ලා තිබෙනවා තාවකාලිකව පිල්ලෙයාන්ගේ නීතිඥවරයා වශයෙන් ඔහු කටයුතු කරනවා කියන කාරණාව.
මෙතැනදී අපි නීතිඥයෝ වශයෙන් යම් වෙනස් ආකාරයක කරුණක් දකිනවා. අපි දකිනවා නීතිඥයෝ වශයෙන් යම් සේවාදායකයෙක්, එහෙම නැත්නම් සැකකාරයෙක් තමයි අපිව ඔහුට සේවය අවශ්‍යයි කියලා අපේ සේවය ලබාගන්නේ. මෙතැනදී සිද්ධ වෙන්නේ උදය ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට යොමුකරනවා ඉල්ලීමක් තමන්ට අවශ්‍යයි ඔහු වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ඒ බව පිල්ලෙයාන්ට දැනුම් දුන්නට පස්සේ පිල්ලෙයාන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා ඔහුව මුණගැහෙන්න. ඒ අනුව අපි දැක්කා මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයා සඳහන් කරනවා උදය ගම්මන්පිලට ඒ නීතියේ තියෙන ප්‍රතිපාදන යටතේ පිල්ලෙයාන්ව හමුවෙන්න දෙන්න පුළුවන් කියලා. ඒ ගැන අපිට විවාදයක් නෑ. නමුත් මේ සිද්ධිය එක්ක ගත්තම යම් යම් කාරණා සම්බන්ධයෙන් අපිට තියෙනවා පැහැදිලි කරගැනීමක්. එකක් තමයි අපි දන්නවා මේ වගේ ත්‍රස්ත විමර්ශන පනතක් යටතේ යම් ප්‍රබල චෝදනාවකට මේ විදියට කෙනෙක් සැකකරුවෙක් බවට පත්වෙලා ඉද්දී අපි අපේ අත්දැකීමෙන් දන්නවා ඒ සැකකාරයා, එහෙම නැත්නම් පිල්ලෙයාන් උත්සාහ කරන්න ඕනේ අපරාධ ක්ෂේත්‍රය පිළිබඳ විශාල පරිචයක්, දැනුමක් තියෙන හොඳ දක්ෂ නීතිඥවරයෙක්ගේ සහාය ලබාගන්න. උදය ගම්මන්පිල නීතිඥවරයෙක්. හැබැයි අපි දන්නා විදියට උදය ගම්මන්පිල එහෙම අපරාධ හෝ සිවිල් ක්ෂේත්‍රයේ අඛණ්ඩව ප්‍රැක්ටිස් කරන කෙනෙක් නෙවෙයි. අපි දැකලා තියෙනවා ඔහුගේ නීති කටයුතු සඳහාත් වෙනත් නීතිඥවරුන්ගේ සහාය ලබාගන්නා ආකාරය. එහෙම නම් මේ වගේ අපරාධ කරුණක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉන්න පිල්ලෙයාන්, අපරාධ නීතිය හෝ ඒ නීති ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික වශයෙන් කටයුතු නොකරන උදය ගම්මන්පිල හරහා ලබාගන්න හදන නීති උපදෙස මොකක්ද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අපිට ලොකු සැකයක් තියෙනවා මේ ලැබෙන්නේ නීති උපදෙස්වලට වඩා දේශපාලනික උපදෙස් වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් ඒක නීත්‍යනුකූල මාර්ගයෙන් වෙන්නේ.

ඔබ දැක්කා ඉතිහාසයේ මුස්ලිම් අන්තවාදය, වඳ කොත්තු, වඳ දරු සැත්කම්, මුස්ලිම් අන්තවාදය, රටේ ජාතිකත්වය, කොටි නැගිටීම් ගැන කියලා උදය ගම්මන්පිල කෑමොර දුන්නා. අපි දැක්කා පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාර විජයපාල ඇමැතිවරයා සඳහන් කරනවා පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධයි කියලා කරුණු තහවුරු වෙලා තියෙනවා කියලා. එහෙම නම් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා පිළිබඳ, පාස්කු ප්‍රහාරයේ ඉමාම් වාර්තා එළියට අරගෙන ඇවිල්ලා, පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔහු විශේෂ කරුණු දන්නවා කියලා කියන්න හදපු උදය ගම්මන්පිල දැන් මේ පිල්ලෙයාන් මුණගැහිලා ලබාදෙන්න හදන උපදෙස මොකක්ද කියන එක ගැන අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම සදාචාරාත්මක වශයෙන් මේක කරන්න පුළුවන්ද කියන කාරණාව ගැනත් හිතලා බලන්න. කලින් කලට විවිධ වූ වෙස් මුහුණු දාගෙන මේ රටේ මිනිස්සු අන්දන අය දැන් මේ හැසිරෙන විදිය. නීතිඥයකුගේ වගකීම නම් අධිකරණයට යුක්තිය පසිඳලීමට සහාය දැක්වීමය. දැන් මේ හදන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇත්ත වශයෙන්ම උදය ගම්මන්පිල සහාය දීමක්ද කියන කාරණාව. කොහොම නමුත් අපි එකඟයි නීතිඥයෙක් වශයෙන් ඔහුට පිල්ලෙයාන් සමග කටයුතු කරන්න පුළුවන්. හැබැයි සදාචාරාත්මක වශයෙන් එතැන ගැටලුවක් තියෙනවා.

ඊළඟ පුද්ගලයා අවුරුදු 50ක නීතිඥ වෘත්තියේ සංවත්සරය සමරපු මහා නීතිඥයා කියලා පෙන්වාගන්නා රනිල් වික්‍රමසිංහ අඩුම ගානේ මේ ඊයේ පෙරේදා නීති විද්‍යාලයෙන් එළියට ආපු නීතිඥවරයෙක්වත් නොකරන විදියේ ක්‍රියාවක් කරන්න හදලා තියෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව භාර නිලධාරියා වන, අපිට තියෙන තොරතුරු අනුව සී.අයි. ආරියවංශ දුරකතනයෙන් අමතලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සී.අයි. මාධව ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ රැඳවුම් නියෝග මත ඉන්න පිල්ලෙයාන් සමග රනිල් වික්‍රමසිංහට කතා කරන්න අවස්ථාව ලබාදෙන්න කියලා. මේක නම් උදය ගම්මන්පිල කළා වගේ නීත්‍යනුකූල වැඩක් නෙවෙයි. නීතිය ගැන මහා දැනුමක් තියෙන, අනිත් අයට නීතිය උගන්වන, කලිසම් සාක්කුවේ අත් දෙක දාගෙන පාර්ලිමේන්තුවේ මහා නීති තර්ක ඉදිරිපත් කරන රනිල් වික්‍රමසිංහට මේ සරල ප්‍රායෝගික නීතිය නොතේරුණේ ඇයි? ඒක තමයි මෙතැන තියෙන වැදගත්ම කතාව.

දැන් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ තව කතාවක් ආවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහට තියා රනිල්ගේ මයිලකටවත් මේ ආණ්ඩුව අත තියන්නේ නෑ කියන එක. මහින්දගේ මයිලකටවත් මේ ආණ්ඩුව අත තියන්නේ නෑ කියන එක. ඒ කතාවේ හරය තමයි පවතින නීතිය සහ පවතින මේ ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහලාටවත්, මහින්දලාටවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එක. ඔවුන් නීතිය ඉදිරියේ සුරක්ෂිතයි, අනුරලා මේ ආණ්ඩුව බයයි රනිල්ට අත තියන්න. අපි දැක්කා ඒකට පොහොර ටිකක් දානවා හිරුණිකාත්. ඇය කියනවා නාමල් රාජපක්ෂව ඇතුළට දැම්මට රනිල් වික්‍රමසිංහලාට කොහොමටවත් අත තියන්නේ නෑ කියලා. රනිල් වික්‍රමසිංහ හිර කූඩුවක් දකින්නෙවත් නෑ, ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. ගෝඨාභයට, මහින්දට මේ ආණ්ඩුව අත තියන්න බයයි කියලා ඇය කිව්වා. චාමරගේ භාෂාවෙන් කියනවා නම් මයිල් ගහකටවත් අත තියන්නේ නෑ කියලා. හැබැයි අපිට තියෙන තොරතුරු අනුව ඒක එහෙම නෙවෙයි. මොකද ආවාට ගියාට මිනිස්සුන්ව ඇදලා අරන් කූඩුවට දාන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කිව්වා. හැබැයි නීතියේ පාලනය, නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කරනවා, ඒකට දේශපාලනය අත ගහන්නේ නෑ, සාක්ෂි, කරුණු, සාධක තියෙනවා නම් පමණක් රනිල් වික්‍රමසිංහ නෙවෙයි ඊට එහා ගිය කෙනෙක්ට වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා. ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ රැලිවල ඉද්දී රනිල් වික්‍රමසිංහ කිව්වා ‘අනුර කුමාර මගේ මිත්‍රයා’ කියලා. හැබැයි ඒ මිත්‍රයාට අනුර කිව්වා, ‘මිත්‍රයා මිත්‍රයා කිව්වට කමක් නෑ එයාටත් වෙලාව ආපුවාම නීතිය ක්‍රියාත්මක කරනවා අනිත් අයට වගේම, එයාගේ ෆයිල්වලටත් නීතිය එක සමානයි’ කියන කාරණාව. ඒක දන්න රනිල් වික්‍රමසිංහ දැන් මේ පිල්ලෙයාන් එක්ක සම්බන්ධයක් ගොඩනගාගන්න හදනවා.

පිල්ලෙයාන් කියන්නේ කවුද? පිල්ලෙයාන් කියන්නේ කාලෙකට කලින් රටම දන්න විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක්. මරාගෙන මැරෙන කණ්ඩායම් එක්ක විශාල විදියට මේ රටේ නීත්‍යනුකූල හමුදාවත් එක්ක හැප්පිච්ච කෙනෙක්. නමුත් යුද උපක්‍රමයක් ලෙස පහුකාලීනව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පිල්ලෙයාන්ව කඩලා අරගෙන යුද්ධය සඳහා ඔහුව ප්‍රයෝජනයට ගත්තා. හැබැයි අපි කියමු ඒ දක්වා ඒ සිද්ධ වෙච්ච දේවල් යුද්ධයේදී සාධාරණයි කියලා. හැබැයි ඒක එතැනින් එහාට නැවතුණේ නෑ. ඔබ අහලා තියෙනවා මේ රටේ පැරා මිලිටරි කණ්ඩායම් ගැන. මොනවද පැරා මිලිටරි කණ්ඩායම් කියන්නේ? ආයුධ පුහුණුව තියෙන, ආයුධ සහිතව නිල නොවන හමුදාමය කටයුතු කරපු කණ්ඩායම්. ඒ කණ්ඩායම් තමයි අපට තොරතුරු තියෙන විදියට මාධ්‍යයේ තොරතුරු කතාවෙච්ච විදියට පහුගිය කාලේ ගොඩක් පැහැරගැනීම්, පුද්ගල ඝාතන, පාතාලයේ ගිණුමට බැරවෙච්ච ගොඩක් ඝාතන සිද්ධ කළේ. එතකොට දැන් විජේපාල ඇමැතිවරයා කියන විදියට, ඊට කලින් චැනල් ෆෝ නාලිකාවේදී අසාද් මවුලානා සඳහන් කරපු ආකාරයටත් පිල්ලෙයාන් පැහැදිලිවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් දක්වනවා. පැහැදිලි ලෙසම මේ වෙනකොට පිල්ලෙයාන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේම පිල්ලෙයාන් පරා මිලිටරි කණ්ඩායම් ක්‍රියාත්මක කළා කියන එක අලුත් දෙයක් නෙවෙයි. මොකද පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තා කියලා දැනගත්ත ගමන් ඔහුගේ ගම රටවල රතිඤ්ඤා පත්තුකරලයි මිනිස්සු ඒක සැමරුවේ. මොකද පිල්ලෙයාන් ඒ තරමට දේශපාලන භීෂණයක් වපුරාගෙන හිටපු පැරා මිලිටරි කණ්ඩායම්වල පාලනයෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරපු මනුස්සයෙක්.

ඒ පිල්ලෙයාන් දැන් කට ඇරලා තියෙනවා කියලා අපටත් දැනගන්න ලැබෙනවා. ඒ කට ඇරීම හරහා මේ රටේ රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ඒ වගේ ගොඩක් දේශපාලනඥයෝ පිළිබඳ කටවල් ඇරෙන්න පුළුවන්. ඒ ඇරුණොත් ඔය කාට කාටත් සිද්ධ වෙනවා අර මයිල් ගහකටවත් අත තියන්න බැහැයි කියලා හිතාගෙන ඉන්න, නීතිය ඒගොල්ලන්ගේ කියලා හිතාගෙන ඉන්න, රනිල් වික්‍රමසිංහලාට අනිවාර්යයෙන් මේ නීතියට යටත් වෙන්න වෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තම අත්අඩංගුවට ගැනීමේ ඉඳලා රිමාන්ඩ් භාරයේ පවත්වා ගැනීම, නඩු අහලා අවසානයේ දඬුවම් ලබාදීම දක්වා නීතිය යටතේ නෛතික ක්‍රියාවලියට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔය ලොකු ලොක්කෝ ගොඩකගේ පැටිකිරිය සමහර විට පිල්ලෙයාන්ලා දැනගෙන ඉන්න පුළුවන්. මොකද ‘ඔය හැමෝම යාළුවෝ මල්ලි’ කියන කතාව හොඳට තහවුරු වෙන තැනක් තමයි මේ. මොකද, රටේ ජාතිකත්වය, රටේ සිංහලකම ගැන, මුස්ලිම් අන්තවාදය ගැන මතවාද පෙන්වලා මිනිස්සු භේදභින්න කරපු උදය ගම්මන්පිලලා, පිල්ලෙයාන්ලා එක්ක කොයි තරම් යාළුද කියන එකයි මේ පෙන්නන්නේ, ගම්මන්පිලගේ මේ මැදිහත්වීම හරහා. ඒ වගේම රනිල් වික්‍රමසිංහලත් පෙන්වනවා අපි ඔක්කොම යාළුවො කියන කාරණාව. හැබැයි ඔය යාළුකම් හරහා ඔය යාළුවො යාළුවෝ එක එකාගේ පිට කහගත්ත විදිය, එක එකාගේ දාමරිකකම්, ඝාතන, පැහැරගැනීම්, බෝම්බ ප්‍රහාරයන් සිද්ධ කරපු හැටි ඔය කවුරු කවුරුත් වැඩි අඩු වශයෙන් දන්නවා ඇති.

සී.අයි. මාධව ගුණවර්ධන පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහගේ සී.අයි. ආරියවංශට කියලා තියෙනවා මේ විදියට රැඳවුම් භාරයේ ඉන්න කෙනකුට කතාකිරීම උත්සාහ කිරීමම වරදක් කියන එක. ඒ විතරක් නෙවෙයි මේ නිලධාරියා පැහැදිලි වශයෙන්ම පොලිස් සටහන් පොත්වල සඳහන් කරලා තියෙනවා අදාළ දුරකතන අංකවලින් මේ වෙලාවේදී මෙහෙම කෙනෙක් කතාකරලා, මොහු වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න සාකච්ඡා කළා කියන කාරණාව. ඒ පිළිබඳවත් විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒ අනුව දැන් අපිට දැනෙනවා ආණ්ඩුව විසින් නීතියට පණ දීම සඳහා මේ ඇතිකරලා තියෙන ස්වාධීනත්වය යටතේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පොලිස් නිලධාරීන්ට, විමර්ශන නිලධාරීන්ට අවස්ථාව ලැබිලා තියෙන බව. අටවාගත්ත අටවැනි ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමට පවා පයින් ගහන්න ඒ නිලධාරීන්ට පුළුවන් වෙලා තියෙනවා.

අපිට මතකයි පහුගිය කාලේ ගොඩක් ගෙවල්වලට ගිහිල්ලා ප්‍රකාශ අරගත්තා. දැන් එන්න කියලා කියනවා. දැන් රනිල් වික්‍රමසිංහට පහුගිය දවස්වල ලොකු අමාරුවක් තිබුණා චාමර සම්බන්ධයෙන්. චාමර බැංකු ගිණුම් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරගත වුණාම රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙලා ඒ අහක ගිය චෝදනාවත් තමන්ගේ පිටට දාගෙන කයිවාරුවක් ගැහුවා. එහෙම කියලා පැය 24ක් යන්න කලින් රනිල් වික්‍රමසිංහව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳෙව්වා. ඒ කැඳවපු එක සම්බන්ධයෙන් රනිල්ට තියෙන විමතිය තමයි කොහොමද මෙච්චර ඉක්මනට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණේ කියලා. ඒ රනිල්ලගේ කාලේ. රනිල්ලගේ කාලේ තමයි ෆයිල් එකක් චෝදනාවක් ආපුවාම ලොක්කෝ ලොක්කෝ ඩීල් දාලා, ඒවා යට ගහලා දේශපාලනය කළේ. අපි දන්නවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රංග දිසානායක කියන බොහොම ශක්තිමත්, කාර්යක්ෂම කොමසාරිස්වරයෙක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඔය කොයි කාටත් දැන් කූරු මතක් වෙන්න පටන් අරන් තියෙනවා. කූරුවලින් පිටිපස්සේ ජීවිතය ගැන බයක් දැනිලා තියෙනවා. ඉවක් දැනිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ තමන්ට අදාළම නැති, නමුත් නියත වශයෙන්ම අදාළ වන තමන්ගේ සහ අනුන්ගේ කුණුකන්දල් එළියට නොඑන ලෙස පිල්ලෙයාන්ගේ කට වහන්න දරපු උත්සාහයක් කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නැත්නම් වැස්සකටවත් උසාවියකට යන්නේ නැති මිනිස්සු මේ විදියට හොර රහසේ සහ වෙනත් නීත්‍යනුකූල ක්‍රමවලින් නීතිඥ සේවාවන් ලබාදෙන්න උත්සාහ කරන එක හරි පුදුමසහගත දෙයක්. මොකද මේ පිල්ලෙයාන් අත්අඩංගුවට පත්වෙන පළමු අවස්ථාව නෙවෙයිනේ. මීට කලිනුත් ඔහු අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. ඒ අවස්ථාවලදීත් උදය ගම්මන්පිලගේ නීතිඥ සහාය අරන් තිබෙනවද? එහෙම නැත්නම් මේ අවස්ථාවේදී උදය ගම්මන්පිල මේ පැනලා දීලා කරන්න හදන්නේ මොකක්ද? ඒ ගැන මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා.

ඔය මොන සෙල්ලම දැම්මත් දැන් හොරුන්ගේ කාලය ඉවරයි. මේ රටේ මිනිස්සු මේ පෙරළිය කරගත්තේ මේ වැඩේ ඉස්සරහට හරියට කරගෙන යන්න. ගමන හෙමින් වුණත්, ඒ ගමන ස්ථාවරයි කියන එක නම් අපිට බොහොම පැහැදිලියි.

Amila Egodamahawatta යූටියුබ් නාලිකාවෙනි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here