පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම – දොන් – සිමොන් දෙගොල්ලම හංගන ඇත්ත කතාව… – Saru News | සිංහල

0
4

පොදු ජන අරගලයේ බලය අවතක්සේරු කළ රනිල් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස අතපුච්චා ගන්නා ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලයේ ගෙන ඇති බව හෙළි වෙමින් තිබේ. එවැනි ක්‍රියාමාර්ග අතරින් බොහෝ විට ජනතාවගේ අවධානයට යොමුව තිබෙන්නේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ය. එහෙත් මූල්‍යමය සීමාවෙන් පිට රාජ්‍ය යන්ත්‍රණය දේශපාලන පාදඩ කරණයට ලක් කළ ක්‍රියාමාර්ග අතිශය බරපතළය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමේ රනිල් වික‍්‍රමසිංහගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගය හොඳම උදාහරණයයි. මීට අමතරව සිදුකරන ලද එවැනි පාදඩකරණීය ක්‍රියාමාර්ග පිළිබඳව විමර්ශන ගණනාවක් මේ වනවිටද පවත්වමින් තිබෙන බව හෙළි වී ඇත.

මේ වනවිට සාකච්ඡාවට ලක් වී තිබෙන පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීම යනු මේ මොහොතේ තහවුරු වී තිබෙන තවත් එක් නිදර්ශනයක් පමණි. නමුත් විශේෂයෙන්ම 2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු රාජපක්ෂ පවුල් පාලනය මේ බිමේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත කිරීමේ සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කෙරිණි. ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, සිවිල් පරිපාලන සේවය, අධිකරණය සහ පාර්ලිමේන්තුව යන රාජ්‍ය යන්ත්‍රණ සියල්ලම පාදඩකරණය කිරීමේ වේගවත් හැරවුම් ලක්ෂයක් මෙම වකවානුවේ දී සටහන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයේ සිටි චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් උවමනාවෙන් සඟවා ඇති කතාව හෙළි කිරීමට පෙර රාජපක්ෂ පවුල් පාලනයේ පාදඩකරණීය දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ ව ආවර්ජනය කිරීම වැදගත් ය.

දසත පැතිර වූ පවුල් පාලනයේ ආරම්භය

රාජපක්ෂ පවුලේ වැඩිහිටියා වන චමල් රාජපක්ෂ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවල දී විවෘතව ම ප්‍රකාශ කළේ ඉදිරි අවුරුදු 25කට වත් එම පාලනය සෙලවිය නොහැකි බවය. එය හුදු ප්‍රකාශයක් නොවෙන බව තහවුරු කෙරෙන නිදසුන් සිය ගණනක් තිබුණත් සංකේතීය අර්ථයෙන් කිහිපයක් දැක්වීම අවශ්‍යමය. යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස බඳවා ගෙන විදේශ පුහුණු ලබා දුන්නේ අයථා ක්‍රමවලින් බව මේ වන විටත් තහවුරු වී ඇත. යෝෂිත රාජපක්ෂ අනීතිකව නාවික හමුදා වේ ලුතිනන් ධුරයට පත් කළේ එම තනතුරේ පැල කිරීමට නොවේ. ඉන් ඉදිරියට නාවික හමුදාපති දක්වා ගෙනයාමටත් පසුව ත්‍රිවිධ හමුදාපති ආඥාපති ලෙස කුමන පාදඩ ක්‍රමයකින් හෝ පත් කිරීමටත් සැලසුම් කරගෙන ය. එයින් නොනැවතී ආරක්ෂක අංශ තුළ සුදු වෑන් ඝාතක කල්ලි පවත්වාගෙන යාම දක්වා ඉතා පුළුල් පාදඩකරණයක් පැවතිණි. ඒ වෙනුවෙන් කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ දයා මාස්ටර් ආදීන්ගේ උදව් පදව් ලබා ගැනීමට ද දෙවරක් සිතා නොබැලීය.

අනෙක් පැත්තෙන් නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් සහ නිල් බලකාය වැනි සංවිධාන පිහිටුවා දියත් කර තිබුණේ අප්පා කුඩප්පලා සහ මහප්පලාට ළංවීම අසීරු වූ තරුණ පරපුර පාදඩකරණයට දක්කාගෙන යාමයි. හොරට නීතිවිද්‍යාලීය විභාගය ලියා නාමල් රාජපක්ෂ නීතිඥයෙකු කළේ ඔහු එතන රඳවා තැබීමට ද? නැත. කුමන වංගුවක් ගසා හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඔහු යටතට පත් කර පසුව ජනාධිපති පුටුවේ වාඩි කරවීමටය. එපමණක් නොව රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශ විද්‍යාඥයෙකු ලෙස සිදු කළ රංගනය අවසන් කිරීමට සැලසුම් කර තිබූ ඉම සිතා ගැනීමට පවා නොහැකිය. මේ තත්වය අධිකරණ පද්ධතියට ද එකසේම අදාළ කර ගනු ලැබීය. වැඩ ඇරී ගෙදර යමින් සිටි ඊවා වනසුන්දරට දුරකථනයෙන් කතා කර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් ලබාදීමට තරම් මහින්ද රාජපක්ෂ දිගේලි කළ පාදඩ බලය සුළු පටු වූවක්ද? එහි අනෙක් පැත්ත වූයේ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ සිටි තම පාදඩම සහචරයන් ලවා නඩු විභාග කර, ඇය එම තනතුරෙන් නෙරපා හැරීමයි. එම තනතුරට පත් කළේ සුවච කීකරු මොහාන් පීරිස්ය. ඔහු කෙතරම් කීකරු පුද්ගලයෙකු ද යන්න මෛත්‍රීපාල සිරිසේන පසුකළෙක හෙළි කර තිබුණේ,  ඕනෑම තීන්දුවක් ලබා දෙන බවත් අග විනිසුරු ලෙස දිගටම එම තනතුරේ රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ආයාචනා කළ බවත්ය. මෛත්‍රීපාල සිරිසේන සමග මොහාන් පීරිස් කළ ප්‍රකාශයෙන් ඕනෑවටත් වඩා තහවුරු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය වෙනුවෙන් නඩු තීන්දු ලබා ගැනීම සඳහා ම ඔහු අගවිනිසුරු ධුරයට පත් කළ බවය.

ජේ.ආර් ජයවර්ධනට යා නොහැකි වූ දුර යාම

උත්තරීතර ව්‍යවස්ථාදායකය ගොදුරුකර ගෙන තිබුණේ ද මෙන්න මේ රාජපක්ෂ පවුල් පාලනයටය. ජේ.ආර් ජයවර්ධන ඔහුගේ ව්‍යවස්ථාපිත ඒකාධිපති වියරුව දිගේලි කළ තැන් සිට මහජන නියෝජිතයන් යටකරගෙන සිටියේය. ඒ සඳහා යොදන ලද විවිධ උපක්‍රම ගණනාවකි. ඔහුගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබීම එහි උච්චතම අවස්ථාවයි. එමෙන්ම විරුද්ධ පක්ෂයේ සිටි මන්ත්‍රිවරුන්ට ඔහුගේ ආණ්ඩුවට පිල් පැනීම සඳහා අවිනීත ආකාරයෙන් ඉඩ සලසා දීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබීය. ජේ.ආර් ජයවර්ධනගෙන් පසුව රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දක්වා ම මන්ත්‍රිවරු සම්බන්ධයෙන් මෙම පාදඩ කරන ක්‍රියාමාර්ග රිසි සේ අනුගමනය කරනු ලැබීය. එම ජනාධිපතිවරු මන්ත්‍රිවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබීම පමණක් සිදු නොකළෝය. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපි වෙනුවට තම මැති ඇමතිවරුන්ගේ ෆයිල් එක්රැස්කරගෙන සිටි බවත් පසු අවස්ථාවල ප‍්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ ය. එයින් නොනැවතී එම මැති ඇමතිවරුන්ට එරෙහිව පැවති චෝදනා සම්බන්ධයෙන් පොලිසියට නිදහසේ ක්‍රියාකාරකමට අවස්ථාව නොදුන් බවට ප්‍රකාශ කර තිබිණි. කුමන අපරාධයක් සිදුරක හෝ මහින්ද රාජපක්ෂගේ සෙවනට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ ආකාරය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කරුණා අම්මාත්, පිල්ලෙයාන් සහ දයා මාස්ටර් වැනන්ගෙන් පැහැදිලි වී තිබේ.

එහෙත් මහින්ද රාජපක්ෂට පෙර සිටි කිසිදු විධායක ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රියාපටිපාටි සහ නිලධාරි ධූරාවලියට අත පෙවීම හෝ එම පරිපාලන යන්ත්‍රණයට අතපෙවීම සිදු නොකළෝය. එනිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන් හැකි උපරිම ආකාරයට ස්වාධීනව තම රාජකාරි වගකීම් ඉටු කළහ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර දීමේ ක්‍රියාවලියේ පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් හැකි උපරිම කැපවීමෙන් කටයුතු කළහ. මහින්ද රාජපක්ෂ ඇතුළු පවුල් බලය මෙම තත්වය කිසිසේත් නොඉවසූහ. ඔවුන් විශේෂයෙන්ම 2012  සිට පාර්ලිමේන්තු යන්ත්‍රණය තමන්ට රිසි සේ හසුරුවා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විවිධ කූට උපක්‍රම යොදන ලදී. එතෙක් දේශපාලන අත පෙවීම්වලින් තොරව ක්‍රියාත්මක වූ නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට තිත තැබීය. පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ 2012 වර්ෂයේ දී විශ්‍රාම යාම නිශ්චිත කඩඉමක් කරගෙන රාජපක්ෂ පවුලේ අත පෙවීම් දියත් කෙරිණි. ඒ වන විට සිටි නියෝජ්‍ය මහ ලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට පත්කරනු ලැබීය.

එයින් හිස් වූ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට පත්වීමේ පටිපාටිය අනුව ඊළඟට පත් විය යුතු වන්නේ සහකාර මහ ලේකම් තනතුර දරන පුද්ගලයාය. නීල් ඉද්දවල නියෝජ්‍ය මහ ලේකම් ධුරයට උසස් කිරීමත් සමග සහකාර මහ ලේකම් ධුරයේ පුරප්පාඩුවක් ඇති විය. මෙම පුරප්පාඩුව පිරවීම සඳහා අදාළ නිසි සුදුසුකම් සම්පූර්ණ කළ අයගෙන් විවෘත අයැදුම් පත් කැඳවීමට සිසුවිය. ඒ අනුව ටිකිරි ජයතිලක සහකාර මහ ලේකම් ධුරයට නිසි පරිදි බඳවා ගනු ලැබීය. එහෙත් එයට සමාන්තරව තවත් තනතුරක් ඇති කරමින් කුශානි රෝහණදීර සහකාර මහ ලේකම්වරයෙකු ලෙස බඳවා ගැනීමට රාජපක්ෂ පාලනය ක්‍රියා කළේ ය. එයට හේතු වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලෙස ක්‍රියා කළේ කුශානි රෝහණදීරගේ සැමියා වන හරිගුප්තා රෝහණදීර වීමයි. එවකට කථානායකව සිටි චමල් රාජපක්ෂගේ පූර්ණ මෙහෙයවීමෙන් කුෂානි රෝහණදීර සහකාර මහ ලේකම් ධුරයට පත්කර ගත්තද, එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ දී ලැබී තිබුණු ලකුණු අනුව ඇය 13 වන ස්ථානයේ සිටි බව වාර්තා වේ.

චමින්ද වෙනුවෙන් දොන් සිමන් දෙපිරිස එක් වීම

චමින්ද කුමාර කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරයට පත්කිරීම රාජපක්ෂ පවුල් පාලනයේ ක්‍රියාවලිය, රනිල් වික‍්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන යටතේ තවත් තීව්‍ර ලෙස පාදඩකරණය කිරීමක් ය. නියෝජ්‍ය මහ ලේකම් ධුරය පුරප්පාඩු වූයේ 2023 ජුනි මස 07දාය. එදින වන  විට එම තනතුරට පත්වීමේ ජ්‍යෙෂ්ඨත්වය සහ අනෙකුත් අවශේෂ සුදුසුකම් සියල්ල නිසි පරිදි සපුරා සිටියේ සහකාර මහලේකම් ධුරය දැරූ ටිකිරි ජයතිලක. නමුත් ඔහු එම තනතුරට පත් නොකර වංගු ගැසීම හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පිහිට පැතීමට සිදු විය. එම පෙත්සම විභාග කිරීමෙන් පසුව අධිකරණය තීන්දු කර තිබුණේ නියෝජ්‍ය මහලේකම් ධුරයට ටිකිරි ජයතිලක පත් කළ යුතු බවය.

අධිකරණ තීන්දුවට ගරු කිරීම පසෙක දැමූ රාජපක්ෂ පවුල් පාලනය ඊලඟට සිදු කළේ නියෝජ්‍ය මහ ලේකම් ධුර දෙකක් ඇති කිරීමයි. ඒ අනුව ටිකිරි ජයතිලක නියෝජ්‍ය මහ ලේකම් (ව්‍යවස්ථා කටයුතු) ලෙස ද කුශාණි රෝහණදීර නියෝජ්‍ය මහ ලේකම් පරිපාලන ලෙස ද නව තනතුරක් පිහිටුවීය. මෙම තත්වය හමුවේ ටිකිරි ජයතිලක නැවත වරක් අධිකරණ සේවයට එක්වී තිබිණි. මේ නිසා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට එම අභ්‍යන්තරයෙන් පත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ ඊළඟ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු නොමැති විය. පාර්ලිමේන්තුවේ නිලධාරීන් පුරප්පාඩු වූ අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමේ බලය තිබෙන්නේ ”පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව”ටය. 2023 ජූනි මස 08 වැනි දින රැස්වූ උපදේශක කාරක සභාව නියෝජ්‍ය මහ ලේකම් ධුරය පුරප්පාඩු වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවත් විණි. එම සාකච්ඡා සභාවට ඉදිරිපත් වූ කරුණු අනුව හෙළි වී ඇත්තේ නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා පත්කළ යුතු ජ්‍යෙෂ්ඨත්වයේ සිටි සහකාර මහ ලේකම් හංස අබේරත්න අදාළ තනතුරට පත්වී කෙටි කාලයක් බවත් ඒ වන විට ඒ තනතුරේ ස්ථිර කර නොමැති බවත් ය. මෙවැනි අවස්ථාවක අදාළ සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් විවෘත අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සිදු කළ යුතු ය. එම ගැසට් නිවේදනය අනුව සුදුසුකම් සහිත අයදුම් කරන්නන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා බඳවා ගැනීමට නිශ්චිත පිළිගත් ක්‍රියා පටිපාටියක් පැවතිණි. එම ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන්නේ ”පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව” විසින්ය.

එම කාරක සභාවේ මග පෙන්වීම මත අයදුම් පත් ආකෘතියක් පිළිවෙළ කර, එය අනුමැතිය සඳහා උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි. උපදේශක කාරක සභාව විසින් අදාළ සුදුසුකම් පිළිබඳ සටහන සංශෝධනයට ලක්කර 2023 ජූනි මස 23වැනි දින ගැසට් පත්‍රයේ පළකරනු ලැබීය. එම ගැසට් නිවේදනය අනුව ලැබෙන අයදුම්පත් පරීක්ෂා කර  බලා සුදුසුකම් ලැබූවන් සහ නුසුදුස්සන් පිළිබඳව වෙන වෙනම ලේඛනයක් සකස් කළ යුතු ය.  ඒ වන විට එම ලේඛනය සකස් කිරීමේ වගකීම පැවරී තිබුණේ තක්ෂිලා නිලධාරිණියට වුවත් හදිසියේ ම ඇයගෙන් එම රාජකාරිය ඉවත් කර, පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරි පී.ජී.පී ප්‍රියංකර වෙත පවරා තිබූ බව හෙළි වේ. එම පැවරීම කවුරුන් විසින් සිදු කළේ ද යන්න තවමත් අභිරහසක් ය. කෙසේ හෝ වේවා අදාළ අයැදුම් පත්‍ර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නාම ලේඛනය සහකාර අධ්‍යක්ෂ, ඩබ්.පී.එල් ජයසිංහ මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවට යොමු කර තිබිණි. ඒ 2023 ජූලි 18 වැනි දින දීය.

එතැන් සිට 2023 අගෝස්තු 16 දින දක්වා මාසයකට ආසන්න කාලයක් තුළ නිසොල්මනේ බොහෝ කටයුතු සිදුකර තිබේ. එම කටයුතු අතර ප‍්‍රධානම තැනක් ගෙන තිබුණේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙනස් කිරීමයි. තවත් ප‍්‍රධානම කටයුත්තක් වී තිබුණේ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අද්භූත හස්තයක් විසින් සකස් කර තිබීමය. ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සකස් කළේ කවුද හෝ කුමන කණ්ඩායමක් ද යන්න අදටත් අභිරහසක් වී පවතී. මෙවැනි අභිරහස් ගොන්නක් තිබිය දී 2023 සැප්තැම්බර් 08 වැනි දින සුදුසුකම් ලක් අයදුම්කරුවන්ගෙන් සහතික පත්‍ර පරීක්ෂා කිරීම සහ සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට දින නියම කර තිබිණි. මෙන්න මෙතන දී ”නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” න්‍යාය ලෝක වාර්තාවක් තබමින් ක්‍රියාත්මක විය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකුගෙන් සැදුම් ලත් අතර, එයින් පස්දෙනෙක්ම ඒ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි පක්ෂවල දේශපාලනඥයන් වීම ලෝක වාර්තාවක්. දොන් නම් දොන් සිමන් නම් සිමන් යනුවෙන් දෙපිරිසක් නොව දොන් සිමන් දෙගොල්ල ම එකට එක්වී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අසුන් ගෙන සිටීමයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන

අගමැති දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

යන දොන් සිමන්ලා දෙගොල්ලෝම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අසුන් ගෙන සිටියෝ ය. ඊට අමතරව වගකිව යුතු නිලධාරියෙකු ලෙස එම මණ්ඩලයේ සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුශානි රෝහණදීර පමණි. හරි අපූරු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් අයදුම්කරුවන්ගෙන් සුදුසුකම් ලත් අය තෝරා ගැනීමට සහතික පත්‍ර පරීක්ෂා කිරීම සහ එම අයදුම්කරුවන්ගේ අදාළ විෂය පථය පරීක්ෂා කිරීම සිදු කළේ කෙසේ දැයි ශක්‍ර දෙවියන් පවා නොදන්නා බව පැහැදිලිය. එහෙත් කිලිටි දුඟඳ හමන ආකාරයෙන් මෙම ක්‍රියාවලිය දියත් කිරීමෙන් පසුව  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට තෝරා ගෙන ඇත්තේ දේශපාලන චමින්ද කෙනෙකි. සහතික පත්‍රවල  සඳහන් ආකාරයට අනුව නම්, ඔහුගේ නම ජී.කේ.ඒ චමින්ද කුමාර කුලරත්න. චමින්ද කුමාර කුලරත්න වෙනුවෙන් ම අදාළ වන ආකාරයට අයදුම්පත‍්‍රයේ සුදුසු කම් සංශෝධනය කර ගැසට් නිවේදනය නිකුත් කළ බව අමුතු වෙන් කිව යුතු නොවේ. ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරන්නේ සහ ලකුණු දීමේ ක්‍රමවේදය සකස් කරන්නේ ද චමින්ද කුමාර කුලරත්න වෙනුවෙන් ය. මේ චමින්ද එතරම් අනුහස් සහිත අයෙක් ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වී සිටි සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වී සිටීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වී සිටීම සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග සිටි සමයේ ඔහුගේ ලේකම් ලෙස ක්‍රියාකිරීම නිසා අනුහස් සහිත බවක් ආරූඪ වී ඇත. එය කෙතරම් නම් ප්‍රබල පාදඩ දේශපාලන අනුහස් භාවයක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි වූ චමින්ද කුමාර කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් සමස්ත විමර්ශන වාර්තාවක් සකස් කළ යුතු වටපිටාවක් ගොඩනැගී තිබුණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්, කුශානි රෝහණදීර විසින් අංක: PS/ADM/ESD/03/EOG/173 (X1V) දරන පත්වීම් ලිපියක් 2025 අගෝස්තු 20 වැනි දින නිකුත් කරනු ලැබීය. එම ලිපිය මගින් බලය පවරා තිබුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනය කරන ලෙසයි. එම විමර්ශන නිලධාරියා ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විශ‍්‍රාමික අතිරේක ලේකම් නීතිඥ එස්.කේ ලියනගේ පත්කරනු ලැබීය. මාස දෙකකට අධික කාලයක් එම ඒක පුද්ගල විමර්ශන නිලධාරියා විසින් චමින්ද කුමාර කුලරත්නට අයත් අනුහස් අභිරහස් රැසක් හෙළි කර ගනු ලැබීය. ඔහු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කරනු ලැබූ ලිපියක් 2023 සැප්තැම්බර් 15 වැනි දින වන විට නිකුත් කර නොතිබිණි. මේ අතර හෙළි වී තිබෙන ඉතාම වැදගත් කරුණක් වන්නේ චමින්ද කුමාර කුලරත්න 2023 සැප්තැම්බර් 14 වන විටද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ ලේකම් ලෙස සිටි බවය. නමුත් ඔහු 2023 සැප්තැම්බර් 15 වැනි දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයේ වැඩ භාර ගෙන ඇත. මේ විෂයයේ වැඩ බාර ගන්නා ලෙස මහ ලේකම් කුශානි රෝහණදීරගේ අත්සනින් ලිපියක් නිකුත් කර ඇත. එසේ තිබිය දී, චමින්ද කුමාර කුලරත්න විමර්ශන නිලධාරියා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මහ ලේකම්වරියගේ ලිඛිත උපදෙස් අනුව නියෝජ්‍ය මහ ලේකම් ධුරයේ වැඩ බාරගත් බවය.

ඉන් පසුව එළි වෙන ජාමෙට තවත් හොඳ හොඳ සෙල්ලම් රැසක් සිදුරක ඇති ආකාරය විමර්ශනවලදී හෙළි වී ඇත. රාජ්‍ය සේවයේ නිරත ව සිටි පුද්ගලයෙකු නොවන අයෙකු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත්කර ගන්නේ නම්, වසර තුනක පරිවාස කාලයක් සම්පූර්ණ කළ යුතුය. එහෙත් චමින්ද කුලරත්න පරිවාස කාලය ගත කර ඇත්තේ එක් වසරක් පමණි. එමෙන්ම මෙම පත්වීම සම්බන්ධ අත්‍යාවශ්‍ය ලිපි ගොනු අතර තිබිය යුතු වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් පවා ඉදිරිපත් කර නොමැත. පාර්ලිමේන්තුවේ පවත්වාගෙන යන නියෝජ්‍ය මහ ලේකම් තනතුරට බඳවා ගැනීමේ ලිපිගොනු අංක: EOG/479 හෝ පාර්ලිමේන්තුවේ පවත්වාගෙන යන ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවේ (PF2115) අදාළ වෛද්‍ය පරීක්ෂණ සහතිකය ඇතුළත් නොවේ. මෙන්න මේ ආකාරයේ සුවිශේෂී අනුහස් සහිතව ඔහු නියෝජ්‍ය මහ ලේකම් තනතුරේ ද රාජකාරි කර ඇත.

තවදුරටත් හෙළි වී තිබෙන්නේ ඔහුගේ අනුහස් බලය අනුව 2020 පෙබරවාරි 03වැනි දින සිට 2023 සැප්තැම්බර් 14 වැනි දින දක්වා දේශපාලනඥයන්ගේ කාර්ය මණ්ඩලයේ විවිධ තනතුරු දැරූ බවය. ඒ දිගුවක් ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යටතේ ද, අසීමිත අවස්ථා ඔහුට උදා කර දී තිබේ. නැවත අවධාරණය කරන්නේ නම්, 2023 සැප්තැම්බර් 14 වන දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරේ සිට ඊට පසු දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් දක්වා පිම්මක් පැනීමට සමත් ජගතෙකු මේ ලෝකෙයෙන්ම සොයා ගත නොහැකිය. දොන් සහ සිමොන් යන දෙපිරිසගේම පාවාඩ මතින් චමින්ද කුමාර කුලරත්න ලබා ඇති තවත් සුවිශේෂී වරප්‍රසාද අනාවරණය වී ඇත. ඔහුට අයත් අංක PF 2115 දරන පෞද්ගලික ලිපිගොනුව පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ 2023 සැප්තැම්බර් 15 වැනි දින සිට 2024 මැයි 10 වැනි දින වන විටත් නිසි පරිදි පත්වීම් ලිපියක් ලැබී නොතිබූ බවය. වර්ෂ එකක වැඩ බැලීමේ පදනම යටතේ 2023 සැප්තැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමේ ලිපියක් කිසිවකුටත් සිතා ගත නොහැකි ආකාරයෙන් 2024 මැයි 07 වැනි දින නිකුත් කෙරී තිබේ. මෙම සියලු තත්වයන් එක් පසෙක තිබියදී 2020 වසරේ සිට තමන්ට විශ්‍රාම ලැබීමේ අයිතිය ඇති බවට ඔහු විසින් විවිධ අන්දමේ කරුණු ඉදිරිපත් කර ඇත. එහෙත් රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත කරුණු දැක්වීම් අනුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා චමින්ද කුමාර කුලරත්නගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම කුණු කූඩයට දමා ඇත.

මේ කිසිවකින් හෝ අතපිසදා ගැනීමට සූදානම් නොවූ චමින්ද කුලරත්න වෙනස් ම ආකාරයේ ගේමක් ගසා ඇත. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට එවකට නියමිත මාසික වැටුප රුපියල් 98650ක්ය. එසේ තිබියදී චමින්ද කුලරත්නටම අවේණික වූ හොර පාරකින් ගොස් රුපියල් 104,500ක් වූ මාසික වැටුපක් ලබාගෙන ඇත. පාර්ලිමේන්තුවේ දෙවන ඉහළම තතුරට පත්වී පැමිණි පසුවද හොර ගේම් ගැසීම අත්හැරීමට සූදානම් නොවීය.  මේ ආදී කරුණු රැසක් ඒකපුද්ගල කමිටුව විසින් අදාළ ලිපි ලේඛන විමර්ශනය කිරීමෙන් සොයා ගෙන තිබේ. එතැනින් නොනැවතී මෙම ක්‍රියාවලියට අදාළව වගකිව යුතු තනතුරු දැරූ පුද්ගලයන් 12 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම මගින්ද, අදාළ කරුණු නැවතත් තහවුරු කරගෙන ඇත. එසේ ප්‍රකාශ සටහන් කර ගත් පිරිස අතර පාර්ලිමේන්තු මහ ලේකම් කුශානි රෝහණදීර පමණක් නොව චමින්ද කුමාර කුලරත්න ද, ඇතුළත් ව සිටීම විශේෂ අවධානයට යොමු කළ යුතු කරුණකි.

චමින්ද කුලරත්නගෙන් 2025 සැප්තැම්බර් 17 සහ 22 යන දෙදින මෙන්ම 2025 ඔක්තෝබර් 16 වන දිනද ප්‍රකාශ ලබාගෙන ඇත. ඊටත් අමතරව චමින්ද කුලරත්නගෙන් ලිඛිත ප‍්‍රකාශනද ලබාගෙන ඇති අතර මේ ආකාරයේ පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දී තිබේ. එම වාර්තාවේ සඳහන් පරිදි විමර්ශකගේ මූලික අවධානය යොමු වූ කරුණු කිහිපයකි. සාවද්‍ය කරුණු ඉදිරිපත් කර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට පත්වීම, කුප‍්‍රකට ක්‍රියාමාර්ග අනුගමනය කරමින් එම තනතුරේ ස්ථිර වීම, එම තනතුරට හිමි නොවෙන ඉහළ වැටුප් ලබා ගැනීම සහ රාජ්‍ය සේවයේ රෙගුලාසි කඩකිරීම යන චෝදනා චමින්ද කුලරත්නට එරෙහිව නගා තිබේ. එම චෝදනා විමර්ශනය කිරීම සහ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එතෙක් වැඩ තහනම් කළ යුතු බවත්, අවසානයේ නිර්දේශ කර ඇත. එහෙත් එම වැඩ තහනම් කිරීමේ තීන්දුව ගත හැක්කේ පාර්ලිමේන්තු මහ ලේකම්වරියටද නොවේ. තීන්දුව ගැනීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවටය. එම කාරක සභාව 2026 ජනවාරි 23 වැනි දින රැස්වී ඇත. එහි සාමාජිකයන් වූ කථානායක, සභා නායක, විපක්ෂ නායක හෝ ඔහුගේ නියෝජිතයෙකු, මුදල් අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු මෙන්ම  පාර්ලිමේන්තු මහ ලේකම් යන පංච පුද්ගල නිලධාරීන්ය. චමින්ද කුලරත්නගේ වැඩ තහනම කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ විපක්ෂ නායක වෙනුවෙන් ඔහුගේ නියෝජිත  ගයන්ත කරුණාතිලක සහභාගී වූ කාරක සභාවෙනි. චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීමට අමතරව මෙම අනීතික පත්කිරීමට සහ ඔහුගේ සේවය ස්ථිර කිරීමට අනුබල දුන් ඇතැම් නිලධාරීන් දූෂණ විරොධී පනත යටතේ දූෂණය නමැති වරද සිදුරක ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුරක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ යුතු බවත් නිර්දේශ කර තිබේ.

නමුත් දැන් දොන් සිමොන් දෙගොල්ල ම එළියේ කතා කරන්නේ මෙම වැඩ තහනම් කිරීමට විරුද්ධවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔහුගේ නිල ”X” ගිණුමේ එම විරෝධය පළ කරමින් සටහනක් තැබීමට පවා ඉක්මන් වී ඇත. මේ ආකාරයෙන් දෙබිඩි රංගනයක යෙදෙමින් දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට මේ සියලු දෙනාම එකාවන්ව පෙරමුණ ගෙන ඇති බව මෙයින් තහවුරු වේ.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here