පාප්වරණයට වතිකානය සූදානම් වෙයි… දුම දකින චිමිනය සවිකරයි

0
5


නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ පාප්වරණය සඳහා වතිකානය මේ වනවිට ලහි ලහියේ සූදානම් වන අතර වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේ වහලය මත ලොව ප්‍රසිද්ධම චිමිනිය සවිකිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් පාප්වරණ සමුළුව (Conclave) මැයි මස 07 වැනිදා පැවැත්වේ.
එහිදී නව පාප්වරයෙකු තේරී පත් වී ඇත්දැයි නිවේදනය කරන දුම දැකීමට සියලු දෙනාගේම ඇස් යොමු වන්නේ මේ චිමිනිය දෙසටය.
මැයි 7 වන දින පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වන විට, සිස්ටීන් දේවස්ථානය මේ වනවිට වසා දමා ඇති අතර එහි පාප්වරණය වෙනුවෙන් අවශ්‍ය දෑ කාර්ය මණ්ඩලය විසින් සූදානම් කරමින් පවතී.
මෙවර පාප්වරණය සඳහා කාදිනල්වරුන් 135ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා ඇත.
වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.
එමෙන්ම පාප්වරයා තෝරාගැනීමෙන් පසු කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව ගිනි තබා විනාශ කිරීම සිදු කරනු ලබන අතර බාහිර ලෝකය පාප්වරයෙකු තෝරාගත් බව දැනුවත් වන්නේ ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙනි.
ඒ අනුව සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංකේතවත් කෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here