ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු හා “දිනමිණ” පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ලෙස ලෙස කටයුතු කළ දයා සෝමසිරි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 78 වන වියේ පසුවූ ඔහු, දියණියන් සිව්දෙනකුගේ සහ පුත්‍රයකුගේ පියෙකි.
අංක 69/14/A, ලේක් සයිඩ් වත්ත, බටුවත්ත නිවසේ දේහය තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) බදාදා සවස 5.00ට බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
රාගම, වල්පොල උපත ලැබූ ඒ මහතා රාගම වල්පොල රජයේ විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයකින් අධ්‍යාපනය ලබා ඇති අතර, දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකුව සිටියදී ‘හෙළබිම’ පත්‍රයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබේ.
හෙළ ජීවය, මිහිර සහ ටිකිරි යන ළමා පුවත්පත්වලට දායකත්වය ලබා දුන් ඒ මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා පුවත්පත ලෙස සැලකෙන ‘ක්‍රීඩා ලෝකය’ පුවත්පතේ නිර්මාතෘවරයා සහ සංස්කාරකවරයා ද වේ.
ජැක්සන් සේනාරත්න මහතා යටතේ ‘ඇත්ත’ පුවත්පතේ රාගම වාර්තාකරු ලෙස වෘත්තීය පත්‍ර කලාවට පිවිසි ඒ මහතා පසුව ජනදින, රිවිර, සිරිලක, ඇස සහ සම සමාජය යන පුවත්පත්වල කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ධුරයන් හොබවා තිබේ.
මාධ්‍යවේදියකුට අමතරව දක්ෂ තරග විස්තර ප්‍රකාශකයකු වූ ඒ මහතා, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.
ඔහු සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු ද වේ.
දයා සෝමසිරි මහතා ‘අන්න අන්න හඳහාමි’, ‘රිදී සීනුව’ සහ ‘නොසිඳෙන මතක’ ඇතුළු කෘති කිහිපයක කර්තෘවරයා ද වේ.
Saru News








