ගාල්ල ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරු මූණා” යළි බූස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.
ඒ අනුව ඔහු එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔහුට එරෙහිව ගාල්ල අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කරවීමට “බූරු මූණා” රඳවා සිටින වාට්ටුවේ සිට ඊයේ බන්ධනාගාර ගොඩනැගිල්ලකට රැගෙනඒමට කටයුතු කර තිබෙනවා.
ඊට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඔහු පරික්‍ෂා කර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සිදුවූ බහින්බස්වීමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බූරු මූණා අතර ගැටුමක් හටගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව ඔහුගේ මුඛයට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.
ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ නඩුව කැඳවූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් බූරු මූණා පැමිණිලි කර තිබෙනවා.
එහිදී අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ ඔහු රෝහල්ගත කර වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේවෙතත් බූරු සමග ඇතිවූ ගැටුමේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකුද ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම නිලධාරීන් දෙදෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
Saru FM Media