
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍ර රමිත් රඹුක්වැල්ල මහතා අද (21) දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. මෙම පැමිණීම සිදු වූයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවය.
ඥාතීන්ට රජයේ මුදල් ලබාදීම හා අයථා භාවිතය චෝදනා එල්ල වී ඇති පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 3 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
එමෙන්ම, එම නඩු කටයුතුවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත්‍ර රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමට මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දී ඇත. මෙම අවසරය යටතේ, ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය කළ නියෝගයට අනුකූලව රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසම වෙත පැමිණීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, රමිත් රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශය මෙම පරීක්ෂණවල ඉදිරි ගමන සඳහා වැදගත් සාධකයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුගේ නමින් විවිධ බැංකුවල පවත්වාගෙන යන ගිණුම් සහ රුපියල් කෝටි 9 1/2 කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් මෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු ද තහනමකට ලක් කර තිබේ.
රමිත් රඹුක්වැල්ල යනු මින් ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහුට විවිධාකාර මූල්‍ය හා විනය සම්බන්ධ චෝදනා පැවතිණි.
කෙහෙළිය වංචා සිදුකරමින් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරද්දී ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි
සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබීම අල්ලස් කොමිසමේ විමර්ශනයට ලක්වූයේ 2024 සැප්තැම්බර් මාසයේය.
ගිනි අවි පෙන්වා සරසවි සිසු පිරිසක් 2018 දී බියට පත්කිරීම නිසා ඔහු අත්අඩංගුවට පත්විය.
කොළඹ සමාජ ශාලාවකට ගොස් නැවත එද්දී බීමත්ව රිය පදවා 2016 නෙළුම් පොකුණ ආසන්නයේ ගසක් හා තාප්පයක වැදී පොදු දේපළ හානි කිරීමේ අනතුරක් ඔහු සිදු කළේය.
උඩුගුවනේ ගුවන් යානයක දොරක් ඇරගෙන එළියට යාමට හැදූ නිසා ඔහු වරක් ආන්දෝලනයක් ඇති කළේය. ක්‍රිකට් තරග අතරවාරයේ රුසියානු කාන්තාවන් සමග කාමරවල කාලය ගතකිරීම නිසාද ඔහු විනය පරීක්ෂණයකට ලක්විය.

Saru FM Media