නුවරඑළියට හිම වැටිලා ! – Saru News | සිංහල

0
6

දැනට පවතින කාලගුණ තත්වය යටතේ නුවරඑළිය ඇතුළු ඉහළ කඳුකර බිම්වල මල්තුහින පතිත වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.

මේ පිළිබඳව  බී.බී.සී. වෙබ් අඩවිය පළ කර තිබෙන සවිස්තර කරුණු ඇතුළත් සටහනක් උපුටාගෙන පහත දක්වන අතර, ඒ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශනයක කරුණු ඇතුළත් වූවක් ද පහත දැක්වේ.

හිම නොවැටෙන ශ්‍රී ලංකාවේ ඊට ආසන්න අත්දැකීමක් සුළු වශයෙන් හෝ ලබා ගත හැක්කේ මල් තුහින පවතින කාලයට ය.

සෑම වසරක ම පාහේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවල යම් කාලයක නුවරඑළියේ ඇතැම් ප්‍රදේශවල මල් තුහින නිරීක්ෂණය කළ හැකි ය.

ඒ අනුව, මෙම ලිපිය ලියැවෙන මොහොතේ නුවරඑළිය මල් තුහිනවලින් හැඩ වී ඇති අතර ඒවා දැක කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද විනෝද වන ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

මල් තුහින අහසින් වැටෙන බවට බොහෝ දෙනෙකු සිතා සිටිය ද ඒවා ඇති වන්නේ භූමියේ පවතින ශාඛ මතින් බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැහැදිලි කළේ ය.

“මේ කාලය ගත්තා ම උදේ කාලයේ පායනවා. ඊට පස්සේ හවසට සමාන්‍යයෙන් ඔය රත් වූ තාප ශක්තිය පොළොවෙන් පිට කරනවා. පිට කරනකොට ඒ අසල තියෙන වායු ස්ථරය, නැතිනම් ජල වාෂ්ප ගොඩාක් සිසිල්භාවයට ලක් වෙනවා.

“සමහරක් වෙලාවට ඔය තියෙන ජල අංශු තුෂාරංකය දක්වා සිසිල් වීමකට ලක් වෙනවා. එතකොට තමයි ඒවා කැටි ගැහිලා මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් උදේ කාලයේ ඇති වෙන්නේ.

“ඊට අමතරව තවදුරටත් ඕක සිසිල් වෙනකොට නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ශාකවල පත්‍රවල පිට පැත්තේ කුඩා ජල බිංදු වගේ ඇති වෙනවා. මේක තමා අපි හඳුන් වන්නේ මල් තුහින කියලා,” ඔහු පැහැදිලි කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ දත්තවලට අනුව, ජනවාරි 22 වන දා වන විට නුවරඑළියෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් වන අතර එය 2019 වසරේ වාර්තා වූ සෙල්සියස් අංශක 2.7ට පසුව වාර්තා වූ අවම උෂ්ණත්ව අගය ලෙස දැක්විය හැකි ය.

කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුමේ මල් තුහින සම්බන්ධයෙන් සවිස්තර සටහනක් පළ කර තිබූ අතර ඔහුගේ අවසරය මත බීබීසී සිංහල එම සටහන උපුටා ගත් අතර එය පහතින් දැක්වේ.

“පොළොව මතුපිට උෂ්ණත්වය ක්‍රමිකව අඩු වීම නිසා හිමාංකයට (Freezing Point) ළඟා වන ජලවාෂ්ප/පිණි මිදීමට ලක්වන අතර ඒවා කුඩා අයිස් ස්එටික ලෙස දිස්වේ. මේවා මල් තුහින ලෙස අපි හඳුන්වමු. සාමාන්‍යයෙන් මල් තුහින ලෙස අප භාවිත කළත් ඉංග්‍රීසියෙන් මෙය ‘ground frost’ ලෙස හඳුන්වයි.”

“මෙහි ආකාර දෙකක් පවතින අතර “frost” ලෙස හඳුන්වනුයේ ජලය වායුමය අවස්ථාවේ (ජල වාෂ්ප) සිට ඍජුවම ඝන (crystal) බවට පත්වූ අවස්ථාවයි. මේවා සුදු පැහැයක් ගනී. තවත් ආකාරයක් වන්නේ, පින්න මිදීම (ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වීම) නිසා ඇතිවන කුඩා අයිස් ස්එටිකයි. බොහෝ විට මේ සඳහා භාවිත වන යෙදුම වනුයේ “frozen dew” යන්නයි.”

1. සුළඟ අවම වීම/නොමැති වීම

ජලවාෂ්ප නිකුත් කරන පෘෂ්ඨ (ගස්වැල්, පොළොව වැනි) ආසන්නයේ ඒවා විසින් නිකුත් කරනු ලබන ජල වාෂ්ප සිසිලනයට ලක්ව ඝන වීමට නම් ඒවා එක ම ස්ථානයක පැවතීම අවශ්‍ය වේ. සුළං ඇතිවිට සිදුවනුයේ තරමකට සිසිල්වූ මෙම ජල වාෂ්ප වෙනත් ස්ථාන වෙත ගසාගෙන යාමයි.

2. තුෂාරාංකය (Dew Point) යම් ඉහළ අගයක් ගැනීම

තුෂාරාංකය ඉහළ අගයක පැවතීම යනු පිණි ඇති වීමට උෂ්ණත්වය වඩාත් අඩුවීම අවශ්‍ය නොවීමයි. මෙවිට උෂ්ණත්වය වඩාත් අඩු වීමේදී පොළොවේ සහ මතුපිට පෘෂ්ඨවල ඇති පින්න ප්‍රමාණය ඉහළ අගයක් ගනී.

3. සාපේක්ෂ ආර්ද්‍රතාව (Relative Humidity) අඩු වීම

මෙවිට ගස්වැල් සහ පොළොවෙන් ජලය වාෂ්ප වීම වඩාත් ශීඝ්‍රයෙන් සිදුවේ.

4. පොළොවේ උෂ්ණත්වය සෙල්සියස් 0ට වඩා අඩු වීම

ජලය මිදීමට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු වීම අත්‍යවශ්‍ය වේ.

රාත්‍රී කාලයේ වළාකුළු රහිත අහස නිසා වඩාත් ශීඝ්‍රයෙන් සිදුවන විකිරණය මගින් සිසිලනය (Radiation Cooling) හේතුවෙන් පොළොව මතුපිට උෂ්ණත්වය වඩාත් අඩු අගයන් ගනී. මෙම උෂ්ණත්වය හිමාංකයට වඩා අඩුවූ විට සහ ඉහත සඳහන් කළ කරුණු ද තෘප්ත වන්නේ නම් මල් තුහින ඇති වීම සිදුවේ.

මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට උදාහරණයක් සලකමු. මෙහිදී සලකන මිනුම් පොළොවට ඉතා ආසන්න/පොළොව මතුපිට ඒවා බව සලකන්න.

මෙම සලකන කාලය තුළ සෙල්සියස් අංශක 5ක තුෂාරාංකයක් පවතී යැයි උපකල්පනය කරමු.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 වනවිට පිණි නැත, මල් තුහින නැත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 වනවිට පිණි ඇත, මල් තුහින නැත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 වනවිට පිණි ඇත, මල් තුහින ඇත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක -0.1 වනවිට පිණි නැත, මල් තුහින ඇත.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 වනවිට පිණි ඇත, මල් තුහින නැත.

නුවරඑළියේ අවම උෂ්ණත්වය බිංදුවට වඩා අඩු අගයන් ගැනීම ඔබ අසා නැතුවා විය හැකි වුවත් මල් තුහින පිළිබඳව අසා ඇති බවට සැක නැත. මල් තුහින පිළිබඳව කතා කරන විට අප සොයා බලන්නේ පොළොවේ මතුපිට උෂ්ණත්වය (තෘණ අවම උෂ්ණත්වය MOG – Minimum on Grass Temperature ) වන අතර සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන “උෂ්ණත්ව අගයන්” ලෙස අප හඳුන්වන්නේ පොළොවේ සිට අඩි 4ක් 5ක් ඉහළදී ඇති “වායුගෝලීය උෂ්ණත්වයේ” අගයයි.

“අපි යාළුවෝ එක්ක ටික දවසක් විනෝද වෙලා එන්න නුවරඑළියට ගියේ. හැබැයි වෙන දා වගේ නෙමෙයි මේ පාර ගිය ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. උදේ බලද්දි හිම වැටිලා වගේ. ඒවා උඩ ඇවිදිනකොට හිමේ ගියා වගේ දැනුනේ, ඒක කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීමක්,” යැයි පසුගිය දිනක විනෝද චාරිකාවක් සඳහා නුවරඑළියට ගොස් සිටි දේශානි බීබීසී සිංහල වෙත් පැවසුවා ය.

මල් තුහින මත ඇවිදිමින් එහි සිසිලස විඳීමට හැකි වූයේ සිය ජීවිතයේ ප්‍රථම වතාවට බවත් නැවත එම අත්දැකීම ලැබීමේ ආසාවෙන් සිටින බවත් ඇය තවදුරටත් කියා සිටියා ය.

“නුවරඑළියේ අයිස්, නුවරඑළියේ හිම,” යනුවෙන් මේ දිනවල මල් තුහින සහිත ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැකිය හැක.



0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here