නිවුස් හොයන්නයි උදව් කරන්නයි ජීවිතයම කැප කළ ප්‍රේමලාල් මහත්තයා! Sri Lanka Latest News

0
11


‘ප්‍රේමලාල් මහත්තයට කියමු…’

පොලිසියේ ඕනෑම ගැටලුවකදී අපි ඔහුට කතා කළෙමු. රෝහලකට සම්බන්ධ ඕනෑම ගැටලුවකදී අපි ඔහුව ඇමතුවෙමු. ඔහු ඇඟිලි තුඩක දුරින් මේ සියල්ල තබාගෙන උන්නේය. ශ්‍රී ලංකාවෙ සියලු උසස් නිලධාරීන් පාහේ ඔහුව නමින් දැන උන්නේය. පොලීසිය සමග ඔහු වසර පනහකට ආසන්න කාලයක් ගනුදෙනු කර තිබේ. ඔහු මේ රටේ මහා ප්‍රශ්න සියල්ලකදීම පාහේ පොලීසියෙන් ඒ ගැන අසා තිබේ. පත්තරකාරයෙක් ලෙස අඩසියවසකට ආසන්න කාලයක් කළ මෙහෙය ඔහු හරියටම කර තිබේ. ඒ නිසාම ප්‍රේමලාල් විජේරත්න යනු පත්‍තර ලෝකයේ නොමැකෙන සලකුණකි. Sri Lanka Latest News

මේ ලිපිය කියවන්නට ඔහු නැත. ඔහු සිය පෑන පසෙක තබා සදහටම දෑස පියාගෙනය. අඩසියවසක කාලයක් පුවත්පත්හි රාජකාරි කළ ප්‍රේමලාල් විජේරත්න නම් වූ මාධ්‍යවේදී පරිච්ඡේදය නිමාවී තිබේ.

ප්‍රේමලාල් මහත්තයා කළ කී විස්කම් ගැන පහුගිය සති කීපයේ ඔහු විසින් ලියන ලද තීරුවෙහිදී ඔබ කියවන්නට ඇත. ප්‍රේමලාල් විජේරත්න නම් වූ මාධ්‍යවේදියා සිය ගමන අරඹන්නේ දවසෙහි පත්තරකාරයෙක් ලෙසය. එදවස ‘දවස’ විශිෂ්ට මාධ්‍යවේදීන් මෙලකට බිහිකරන ලදී.

මහත්තයාලා පත්තර රස්සාවට එන්නේ ‘දවස’ හරහාය. ජංගම දුරකතන ආදී කිසිවක් අතේ නොතිබුණු කාලයේ ඔවුන් පත්තර රස්සාව කළ හැටි ප්‍රේමලාල් මහත්තයා කීප වරක් අප සමග කියා තිබේ. ඒ කාලයේ සිටම නොසන්සිඳෙන ප්‍රවෘත්ති පිපාසයකින් පිරුණු ප්‍රේමලාල් විජේරත්න සෑම විටම නොනැවතී ප්‍රවෘත්ති හඹා ගියේය. ඔහු එවැනි විටකදී සිය ජීවිත අවදානම ගැනවත් හිතුවේ නැත. තුවක්කු බට මානන සීමාවේදී පවා ඔහු නැවතුණේ නැත. ඇත්තටම කියනවා නම් ප්‍රේමලාල් විජේරත්න නම් වූ තරුණ මාධ්‍යවේදියා නතර කරන්නට පුළුවන් ජගතෙක් එදවස නොසිටියේය. ප්‍රේමලාල් විජේරත්නයන් සිදුකරන ලද ආන්දෝලනාත්මක වාර්තා කිරීම් නිසා රටේ ඉහළ සිට පහළටම කැලඹීම් ඇති කරන්නට පුළුවන් විය. පොලිසියේ ඉහළම නිලධාරීන් පවා ප්‍රේමලාල් විජේරත්න සමග ඍජුව ගනුදෙනු කළේය. පොලිසියේ, ආරක්ෂක හමුදාවේ ඉහළ නිලතල දරන ඕනෑම ජගතෙක්ගෙන් කෙළින්ම ප්‍රශ්න කිරීමේ හැකියාව ප්‍රේමලාල් විජේරත්නට තිබුණේය.

ප්‍රේමලාල් මහත්තයාගේ දක්ෂතා හඳුනාගත් බොහෝ අය ඔහුව තමන් වෙත රඳවා ගන්නට උත්සාහ කළේය. සිරස ඒ අතරින් ජයග්‍රහණය කළ බව මා දන්නා කරුණකි. දවසේ සිට කෙළින්ම සිරසට ගියාද නැත්නම් අතරමගදී වෙනත් පත්තර කන්තෝරු කීපයක ජීවිතය ගතකොට සිරසට ගියාද නැද්ද කියන්න මම දන්නේ නැත. නමුත් සිරස එෆ්.එම්.හි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් ලෙස ප්‍රේමලාල් විජේරත්න ගතකළ කාලය සිරසේත් ප්‍රේමලාල්ගේත් ස්වර්ණමය කාලය යැයි විශ්වාස කළ හැකිය. කොහොමටත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වාර්තා කිරීම් කළ පුරුද්ද තිබූ සිරසට ප්‍රේමලාල් ඉන්නවාය කියන එක පවා පුදුමාකාර ශක්තියක් විය. එයට හේතුව වූයේ සිද්ධියක් සිදුවූ ක්ෂණයකින් එහි අලගිය තැන් මුලගිය තැන් දැනගත හැකි එකම ජගතා ප්‍රේමලාල් නිසාය.
ප්‍රේමලාල් විජේරත්නයන් සිරසේ කලක් ගෙවා ඉනික්බිති එන්නේ ‘මව්බිම’ටය. ලංකාවේ ආන්දෝලනාත්මක මාධ්‍ය කෙරුවාවක් සහිත කණ්ඩායමක් සමග එකතු වෙන ප්‍රේමලාල් විජේරත්නයන් කොල්ලෝද කෙල්ලෝද සමග හරි හරියට වැඩ කළේය. ලියුම්කරු වූ මට ප්‍රේමලාල් මහත්තයා මුණගැහෙන්නේද ‘මව්බිම’ පත්තර කන්තෝරුවේදීය. එවක ‘මව්බිමෙ’හි විශේෂාංග කර්තෘවරයාව සිටි තිස්ස කොරතොට මහත්තයා විසින් තණමල්විල මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු දැනගන්නට ප්‍රේමලාල් විජේරත්නයන් ළඟට මා යැවූ හැටි අදද මට හොඳටම මතකය.

‘කතා කරන්නේ පොඩ්ඩක් හෙමින්. ඒ උනාට මරු වැඩකාරයා. තොරතුරු ඔක්කොම ටික හරියට අහගනින්…’ තිස්ස කොරතොට මහත්තයා මට කීවේය.
‘මව්බිමේ’ සිය මාධ්‍ය දිවිය නිමාකරන ප්‍රේමලාල් විජේරත්න ඉනික්බිති ‘ජනයුගය’ සමග අලුත් ගමනක් ඇරඹුවේය. ‘ජනයුගය’ හා හිටි යුගය සෑම මාධ්‍යකාරයකුගේම ජීවිතයේ සුවිශේෂ පරිච්ඡේදයකි. නමුත් ‘ජනයුගය’ට ඒ හැටි ආයුෂ තිබ්බේ නැත. ‘ජනයුගය’ කඩාවැටෙද්දී ඉන් ඉවත්වුණු පිරිසක් දැන් ඉරිදා ‘මව්රට’ සමග අලුත් ගමනක් පටන් ගත්තේය. ප්‍රේමලාල් විජේරත්නගේ අවසන් නවාතැන වූයේ මෙන්න මේ ‘මව්රට’යි.

වෛද්‍ය සාෆිගේ සිදුවීමේදී ප්‍රේමලාල් විජේරත්න දැරූ ප්‍රයත්නය අතිශය සුවිශේෂ එකකි. මුළු රටක් වෛද්‍ය සාෆිට එරෙහිව සිටිද්දී මේ මාධ්‍යවේදියා දැරූ මතය අතිවිශේෂ එකකි. සමහර විට ඒ ගැන දැන් කිසිවෙක්ට මතක නැත. නමුත් වෛද්‍යවරයාගේ නිවැරදි බව සමග පෙනීසිටි පුද්ගලයෙක් ලෙස මෙම මාධ්‍යවේදියා හඳුනාගත හැකිය.

කිසි විටෙක මුදලට ධනයට බලයට යට නොවුණු නොසන්සිඳෙන ප්‍රවෘත්ති සැපයීමේ ආශාව සහිත පුද්ගලයෙක් ලෙස ප්‍රේමලාල් විජේරත්න මාධ්‍ය ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලයි. අවසාන දිනය තෙක්ම සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ ප්‍රේමලාල් විජේරත්නලා වැනි මාධ්‍ය දැවැන්තයෝ ලංකා මාධ්‍ය ලෝකයේ එක් පරිච්ඡේදයක් නියෝජනය කළෝය.

‘මව්රට’ අපි අපේ පවුලෙන් නික්ම යන මේ අතිවිශිෂ්ට ජ්‍යෙෂ්ඨයාට මෙසේ සමුදෙන්නෙමු. ඔබ නිසා අප ලද ආලෝකය ඉතා විශාල බව ඔබට දන්වා සිටින්නෙමු. ඔබ නිසා අපට ලැබුණු කීර්තිය ඉතා විශාල බව දන්වා සිටින්නෙමු. දුකේදී සැපේදී අප සමග උන් ආදරණීය ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබ නැතිව අපට දැනෙන පාඩුව ලියා නිමකළ නොහැක. ආගිය මගතොට අප හා රැඳුණු ඔබ නැතිව හෙට අප ඉදිරියට යා යුතුය. චාරිකාවකදී ආදරණීය බිරිඳ සමග විත් සැහැල්ලුවට සිනාසුණු, පරණ රසකතා කියමින් විනෝද වුණු ඔබ නැතිව දැන් අපි චාරිකා යා යුතුය. පත්තර කන්තෝරු තුනක ඔබ සිටි මේසයන් දැක ඇති මට හෙට සිට ඔබ වෙනුවෙන් වෙන්කළ ඔබ නැති මේසය දකින්නට හිත හදාගන්නට සිදුවේ. පොලීසියේ ලොකු මහත්තුරුන්ට හෙට සිට ‘හලෝ මම ප්‍රේමලාල්’ කියා ඇමතුමක් එන්නේ නැත. පොලීසියේත් සෞඛ්‍යයේත් කතන්දර හාරා අවුස්සන්නට කෙනෙක් නැත. ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබ නැතිව දැනෙනා හිස්තැනට විකල්පයක් නැත.
ඔබට සුබ ගමන්…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here