දෙමව්පියන් විදිහට අත් හළ යුතු කරුණු

0
13


දරුවන්ගේ ලෝකයේ වැදගත්ම චරිත දෙමව්පියන් ….. ඒ ආශිර්වාදයෙන් දරුවන් දිනා ගෙන ජීවිතය වාසනාවන්ත විදිහට ගෙවන ඔබ අනාගතයේදී දරුවාගේ ගේ ජීවිතයත් වාසනාවන්ත විදිහට ගොඩ නැගීමේ වගකීමත් භාරගත යුතුයි. එහෙම නැති වුනොත් ඔබේ දරුවා අනාගතයේදී තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති දුර්වල චරිතයක් බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ට ආදරය කරන, දයා කරුණාවෙන් සලකන , ඔවුන්ගේ දියුණුවම අපේක්ෂා කරනවා නම් ඔබ විසින් ඔවුන්ට අද දවසේ සලකන අන්දම ගැනත් කරුණු කාරණාවන් සහ ඒ විදිහට දරුවාට සැලකිය යුත්තේ ඇයි කියන හේතු කාරණාවනුත් දැන ගැනීම ඉතාම වැදගත්.

දරුවෙක් වරදක් කළ විට ඔබ මේ විදිහට චෝදනා නගනවා ඇති. වේවැල් පාරක් වෙනුවට මේ විදිහට ඔබ නගන චෝදනාව නිසා දරුවාගේ හිතේ ඇති වෙන්නේ තමා ගැනම සෘණ සිතුවිලි මාලාවක්. තමන් අසරණයි කියන සිතුවිල්ල හිතට පීඩා කරන්න පටන් ගන්නවා.ඒ නිසා දරුවා කිසිම දිනක කලු චරිතයක් විදිහට හඳුන්වා දෙන්න එපා. නරක වුනත් ඔවුන්ගේ යම් යම් හොඳ ගතිගුණත් තිබෙනවා. ඒත් ඔබ දරුවා නරකම විදිහට හැඳින්වීම ඔවුන්ගේ පෞරෂයට දැඩි විදිහට බලපාන්න පුලුවනි.

එක බඩවැල කඩාගෙන ඉපදුනත් දරුවන් අතර විවිධ වෙනස්කම් තිබෙනවා. හැඩ රුව වගේම ඉගෙනුම, කලා මහ වෙනත් තාක්ෂණ හැකියාවන් අනුව විවිධ විදිහට දක්ෂකම් තිබෙන්න පුලුවනි. ඒත් පවුලේ සෙසු දරුවන් අතරට එක් දරුවෙක් ඉස්මතු කරමින් සෙසු අයට ඔහු ආදර්ශ කරන්න එපා. එය ඒ තරම් සතුටුදායක නැහැ

දරුවන්ගේ බුද්ධි මටට්ම එක් එක් අයගේ විවිධයි. ඒ නිසා මොනතරම් භෞතික සැප සම්පත් තිබුනත් ඒ කිසිම පහසුකමක් නැති දරුවා ඉගෙනුම් කටයුතුවලදී ඔබේ දරුවාට වඩා ඉදිරියෙන් සිටින්න පුලුවනි. එය ඉතාම සාධාරණයි. ඒ ගැන දෙමව්පියන් විදිහටත් දුක් ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ මේ විදිහට දරුවාට දොස් නගන විට   ඔබේම දරුවා නොදැනීම ඊර්ශ්‍යාව පටන් ගන්නේ මෙතැනින්. ඒ නිසා කිසිම දිනක තවත් අයට දරුවා සාපේක්ෂ  කරමින් දොස් නගන්න එපා.

පුංචි අය ලොකු වැඩ කරන්න හරිම කැමැතියි. ඒ නිසා ඔබ යම් කටයුතත්ක් කරද්දී දරුවාත් එතැනට පැමිණෙන්නේ මටත් මේ වැඩට හවුල් වෙන්න පුලුවනි යන මානසිකත්වයෙන්. නමුත් පුදන කොටම කාපි යකා කියනවා වගේ ඔබ දරුවා පලවා හැරියොත් ඔහුගේ හැකියාවන් උපන් ගෙයිම මියැදෙනවා. ඒ නිසා ඔවුන්ගේ හැකියාවේ පමණට ඒ කටයුතු කිරීමට ඉඩ දෙන්න. කිසිම දවසක ඔබට කරදරයක් වුනත් යම් කාර්යක් කිරීමට අර අඳින දරුවා පලවා හරින්න එපා.

පුංචි දරුවන්ට ප්‍රශ්න ගොඩයි. සමහර ප්‍රශ්නවලට දෙමව්පියන්ටත් උත්තර නැහැ.ඒ වගේම සමහර උත්තර දැන ගත්තත් ඒවා දරුවන්ට පැහැදිලි කරන්න දෙමව්පියන්ට හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ‘‘ අම්මේ….මල්ලී අම්මගේ බඩට ආවේ කොහොමද…? මේ ජීව විද්‍යාත්මක ප්‍රශ්නයට දරුවාට උත්තර දීම පහසු නැහැ. ඒත් දෙමව්පියන් විදිහට දරුවා සැනසෙන අන්දමින් පිලිතරක් ලබා දෙනවා විනා ඔවුන් පලවා හරින්න එපා.කුතුහලය කියන්නේ දරුවෙකු තිබිය යුතු වැදගත් ගුණයක් නිසා කිසිම දිනක කුතුහලයෙන් නගන ප්‍රශ්න වලට සැර වැර කරමින් ඒවා වලක්වන්න එපා.

සමහර දරුවන්ට බාල කාලයේදී දෙමව්පියන් විසින්ම පටබඳින නම් ඔවුන්ගේ උප්පැන්නයේ නමටත් වඩා ප්‍රබලයි. එහෙත් යම් කාලයකදී මේ විදිහට තමන් හඳුන්වන නම නිසා දරුවා අපහසුතාවයට පත් වෙන්න පුලුවනි. දුව හෝ පුතා යනු දරුවෙක් ආමන්ත්‍රණයට තිබෙන වටිනාම වචන. එතැනින් ඔබ්බට ගිය නම් වනම් ගොඩ නගන්න එපා. ඇතැම් අවස්ථාවලදී මේ නම් ගොඩ නැගුනේ දරුවාගේ ශාරිරික ආබාධ මුල් කර ගෙනයි. එහෙත් එය කිසිම විටෙක නොකල යුත්තක්. නොදැන සිදු කළ වරදක් වුනත් අද මනෝ විද්‍යාවට අනුව මේ විදිහට නම් පටබැඳීම මානසික අපයෝජනයක්…

දරුවන් කැමැති සමාජයක ජීවත් වෙන්න. ඔවුන් හුදෙකලාවට කැමැත්ක් නැහැ. ඒ වුනත් අද තිබෙන කාලරාමුවව අනුව වැඩ වපසරිය ගලපා ගැනීමේ අපහසුතාවය නිසා දරුවන් නිතරම දුරස්ව තබා ගැනීමට දෙමව්පියන් උත්සාහ ගන්නවා.නමුත් එයින් දරුවා මානසිකවත් හුදෙකලා චරිතයක් බවට පත් වෙන නිසා කිසිම දිනක ඔවුන් හුදෙකලා කිරීම නොකළ යුතුයි. දෙමව්පියන් විදිහට ඔබට හැකි හැම විටම දරුවා ඔබේ සමීපයේ තබා ගැනීම අනාගත පෞරෂ වර්ධනයට හිතකරව බලපානවා.

[බී.බී.සී පුවත් සේවයට ‘ළමා හිංසනයට තිත’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here