දෙදෙනාගේ ආදරණීය බැදීම ශක්තිමත් කර ගන්න ඔබට කල හැකි දේවල්

0
11


විවාහ ජීවිතයක් කියන්නේ අඹුසැමියන් එකිනෙකා අතර පවතින ගණුදෙනුවක් ද එහෙම නැතිනම් සුන්දර රසායනික, කායික සහ මානසික බැඳීමක් ද කියලා ඇහුවොත් දෙන්න ඔබට උත්තරයක් තියනවාද? සංකීර්ණ ලෝකයේ පවුලකට ඇති වගකීම් සහ එහි බැඳීම් වලට ඇත්තටම වටිනාකම අඩු වෙමින් තිබුණත් අපි බැඳීම සහ ගනුදෙනුව අතරේ වෙනස වටහා ගන්නම ඕන.

දෙදෙනා අතර බැඳීම සුන්දර සහ ශක්තිමත් එකක් වෙන්න අපි අලුත් අලුත් උපක්‍රම හොයා ගන්න ඕන.ඇත්තටම මේවා අලුතෙන් මැවුණු උපක්‍රම නෙවෙයි.ආදරය කරන කාටත් කවදත් කළ හැකි දේවල්.ඒත් මේ දේවල් ඔබ අතින් වෙන්නේ නැත්නම් ඔබට පුලුවන් ආයෙම මේ දේවල් පටන් ගන්න.

ඔබ ප්‍රේම කරන කාලයේ දවසකට කී වාරයක් ඔහුට ආදරෙයි කිව්වද? නමුත් දැන් ඒ වචන තුන ඔබට අමතක වෙලා නේද? ඉතා අහඹු මොහොතකදී සිප ගැනීමක් කර ආදරෙයි කියන්න.ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ලන්ච් බොක්ස් එක එක්ක පුංචි ආදර සටහනක් ලියා රඳවන්න. ඔහු කාර්යාලයේ ඉන්න මොහොතක ආදරේ බව කියා වට්ස්ඇප් පණිවිඩයක් එහෙම නැත්නම් ටිකක් දිග ඊමේල් එකක් යැව්වොත් ඔහුට අර ළාබාල පෙම්වතිය ආයේ මතක් නොවී තියේවිද?

ස්පර්ශය සරාගී හැඟීම් මතු කිරීමටම පමණක් නොවේ.ආදරය දැනෙන්නටත් බැඳීම ශක්තිමත් වන්නටත් උණුසුම් ස්පර්ශයකට පුදුමාකාර හැකියාවක් තිබෙනවා. ඔහුගේ හිස පිරිමදින්න, උරහිස් මසාජ් කරන්න.වෙහෙසකර දවසක වෙහෙස නිවා දමා ඔහුව ඔබ වෙත වඩාත් සමීප කරන්න ඒ ස්පර්ශය උදව් කරාවි.

විවාහ සංවත්සරය , උපන්දින සමරන්න මිලාධික හෝටල්වල නවාතැන් ගන්නම අවශ්‍ය නෑ.ඉඳහිට එවැනි ගමනක් අවශ්‍යයි තමයි.නමුත් කුඩා පුදුම කිරීමක් පවා ඔබේ බැඳීම ශක්තිමත් කරන්න සමත්.ඔබ අතින් හදන කේක් එකක්, ඔහු බොහෝ කාලයක් ගන්න බලා සිටිය යමක් ඔබේ සර්ප්‍රයිස් තෑග්ග හැටියට ලැබුණාම තමන් ආදරය කරන්නේ මොනතරම් සුන්දර ගැහැනියකට ද කියලා ඔබේ සැමියා හිතන්න පටන් ගනියි.බැඳීම් ශක්තිමත් වෙන්න තව හේතු අවශ්‍යයි ද?

අපිට පෞද්ගලික අවකාශයක් අවශ්‍ය බව ඇත්ත.නමුත් දවස තුළ ඔබේ මතකයේ රැඳුණු සමහර කාරණා ඔහු එක්ක කතා කරන්න.එය ඔබට කාර්යාලයේ පැවරුණු අලුත් වගකීමක්, ඇසූ අලුත් ගීතයක්, ඔබ අද කියවූ පොතක කොටසක් ගැන වෙන්න පුලුවන්.ඒත් ඒ වගේ සැහැල්ලු කතාබහක් අවසාන වෙන්නෙත් ඔබව වඩාත් සමීප කිරීමකින්.

ඉටිපන්දම් එළි සහිත රෑ කෑමක්, රාත්‍රියේ එකිනෙකා වැලඳ අහසේ තරු නැරඹීම්, කොහේ හෝ සංචාරය කිරීමක්, අලුත් ආහාර පිසීමක් කොපමණ මතක ඔබට එක්ව ගොඩ නගන්න පුලුවන් ද? එකිනෙකා දරා ගැනීම සහ ළඟ රැදීම ගැන මතකයන් ගොඩ නැගෙන්නේ ඔබව වඩවඩාත් සමීප කරමින් නේද?

ඔබේ බැඳීම ශක්තිමත් වෙන්න වෙන් වෙන් අරමුණු තිබිය යුතුයි.ඒවාට එකිනෙකා උපකාර කරගත යුතුයි.ඒ වගේම දෙදෙනාම එක්ව එකම අරමුණක් හඹා යාම තුළත් තියෙන්නේ ඔබ අතර ආදරය වර්ධනය වීමයි.සිහින නිවස ගොඩ නැගීම,සිහින වාහනය මිලට ගැනීම, ලෝ වටා සංචාරය, ගොවිපොළක් ඉදි කිරීම, දරුවෙකු බිහි කිරීම වගේ විවිධ හීන ඔබට එක්ව ගොඩ නඟා ගන්න පුලුවන්.වටිනාම දෙය එය ඔබ දෙදෙනාම වඩාම ප්‍රිය කරන හීනයක් වීමයි.ඔබ දෙදෙනා එකිනෙකාට වඩාත් සමීප කරන්න එවැනි සිහිනයකටත් පුලුවන්.

ඔහුගේ ජයග්‍රහණ පමණක් නෙවෙයි, කඩාවැටීම් ද ඔබේ කරගන්න.ඒවායින් ගොඩට එන පාර සොයා ගන්න ඔහුට උදව් කරන්න.ඉතා අසීරු මොහොතක අත් නොහැර ළඟ සිටි ඔබට ඔහු තදින් බැඳෙන්නට එය හේතුවක් නොවේවිද?

ආදරය ගනුදෙනුවක් යැයි සිතා එවැනි තැනකට ලඝු කරන්න එපා.තදින් එකිනෙකාට සමීප විවාහයක් කියන්නේ ජීවිතයට ලැබෙන වටිනාම ආශිර්වාදය.ඒ වටිනාම ආශිර්වාදය අහිමි කර ගන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here