දියර කිරි හා යෝගට් වැට් බද්දෙන් නිදහස්

0
11


එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර තිබෙනවා.

මේ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම විධිවිධාන අනුව අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවයි.

ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් සියයට 50ක් අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ සඳහා අප්‍රේල් 11 වන දින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here