දියමන්ති ගැන මේ දේවල් දන්නවා ද?

0
11


බොහෝ කාන්තාවන් දියමන්ති සඳහා ඉතාමත් කැමැත්තක් දක්වති. දියමන්ති සඳහා ඇති ඉල්ලුම අඩු වන්නේ නැත. මුද්දේ සිට ඔටුන්න දක්වා හැඩ කරන දියමන්ති මිල දී ගැනීමට පෙර මේ දේවල් ගැන දැනුවත්ව සිටීම වැදගත් වේවි.

ඉතා දිගු ඉතිහාසයක් ඇති දියමන්ති වල උත්පත්තිය වසර මිලියන ගණනාවකට එපිටදී සිදු වෙන්නට ඇතැයි සැලකේ. දියමන්ති යනු කාබන් මූල ද්‍රව්‍ය කාණ්ඩයට අයත් ඛනිජයකි. ස්වාභාවිකව ලැබෙන දියමන්තිවලට අමතරව මිනිසා විසින් නිර්මාණය කළ කෘති‍්‍රම දියමන්ති ද තිබේ.   දියමන්ති මැනීම සඳහා භාවිතා කරන්නේ ‘කැරට්’ (Carat) අගයන් ය.

දියමන්ති කැපීම සහ ඔප දැමීම කලාවක් මෙන් ම විද්‍යාවකි. දියමන්තියේ දීප්තිය ඇති වන්නේ ඒ මත වැටෙන ආලෝකය විවිධ අතට පරාවර්තනය වීමෙන් වන අතර  කපා ඔප දැමීම අනුව දියමන්තියක වටිනාකම වැඩි වේ. එනිසා වැඩි ආලෝක ප‍්‍රමාණයක් පරාවර්තනය කිරීමට හැකි වන අයුරින් දියමන්තියක් කපා ඔප දැමීම කෙරෙන අතර ඒ සඳහා ගණිත ක‍්‍රම භාවිතාකෙරේ.  වර්තමානය වන විට  නව තාක්ෂණික දැනුම ද සමග දියමන්ති කැපීමට පරිගණකය මෘදුකංග යොදා ගැනේ.

දියමන්තිවල පැහැය ඒ මත පතිත වන ආලෝකය සහ එහි ඇති පසුබිම අනුව වෙනස් විය හැකි අතර දියමන්තිවල පැහැය වර්ණ රහිත තත්ත්වයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන, අර්ධ වශයෙන් විනිවිද පෙනෙන සහ කිසිසේත්ම ම විනිවිද නොපෙනෙන ලෙස ද දියමන්ති වර්ග කෙරේ.  බොහෝ වටිනා දියමන්ති වර්ණ රහිත හෝ ළා නිල් පැහැති වන අතර විනිවිද පෙනෙන සුළුය. දියමන්තිය හා සබැඳි අතීත කතාවක් තිබීම, සුවිෂේශ වර්ණයක් තිබීම වැනි කරණු මත මිල ඉතා අධික විය හැක.

දේශපාලනික වශයෙන් අස්ථායී මධ්‍යම  අප්‍රිකානු සහ බටහිර අප්‍රිකානු රටවල් වල විප්ලවවාදී කන්ඩායම් විසින් දියමන්ති පතල් පාලනය කර ගනිමින් දියමන්ති අලෙවියෙන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා යොදවා ඇත. මෙම ක්‍රියාවලිය හරහා අලෙවි කරන දියමන්ති ආරවුල් දියමන්ති (conflict diamonds) හෝ රුධිර දියමන්ති (blood diamonds) ලෙස හැඳින්වේ. බොහෝ රටවල් මෙවැනි දියමන්ති වෙළඳාමට එරෙහි වෙති.

දියමන්ති විශාල ලෙස සොරකම් කෙරෙන අතර දියමන්ති පිළිබඳ නිසි දැනුමත් නොමැති අය නීති විරෝධී වෙළදාමට හසු විය හැක. එනිසා දියමන්ති මිල දී ගැනීමට පෙර අනිවාර්යයෙන්ම එය පිළිබඳව සොයා බලන්න මතක තබා ගන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here