දියණිය වෙනුවෙන් රජ පවුලේ සම්ප්‍රදායන්ට පිටුපෑ විලියම් කුමරු

0
11


එංගලන්තයේ රජ පවුලේ විලියම් කුමරුගේ දියණිය චාලට් කුමරිය බව අපි හැමෝම දන්නා කාරණාවක්.විලියම් කේට් යුවල දරුවන් ඇතිදැඩි කරන්නේ රජ මාළිගාවේ සමහර නීති ඒ තරම් තකමින් නොවන බවත් දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙන කාරණාවක්.රජ පවුලේ චාරිත්‍ර වලින් මඳක් ඈත් වෙලා විලියම්කුමරු පුංචි චාලට් කුමරියට අපූරු අවස්ථාවක් ලබා දීලා තියෙනවා.ඒ මිතුරියකගේ පීට්සා සාදයකට සහභාගී වීමටයි.

මේ වගේ කාරණා සාමාන්‍යයෙන් මහ රැජිනට ඉවසාගත නොහැකි මට්ටමේ ඒවා බවයි පැවසෙන්නේ.ඒත් ෆුල්හැම්හි ලන්ඩන් අවන්හලකට චාල්ස් කුමරු දියණිය රැගෙන ගොස් තිබෙනවා.සාමාන්‍ය චාරිත්‍රවලට අනුව රජ කුමරියකට එසේ පාසල් මිතුරියකගේ සාදයකට සහභාගී වීමට අවසර ලැබෙන්නේ නැහැ.

එංගලන්තයේ සිහසුනේ දෙවැනි උරුමක්කාරයා වුණත් විලියම් කුමාරයා එතැනට ගොස් තිබුණේ බොහොම සැහැල්ලු මිනිසෙකු ලෙසයි.සැහැල්ලු ඇඳුමකින් ද සැරසී එතැන සිටියේ රජ කුමරෙකු නොවේ,චාලට්ගේ ආදරණීය තාත්තායි.මීට දින කිහිපයකට පෙර පැවති ඒ සාදය Thomas’s Battersea පාසලේ චාලට් කුමරියගේ පන්ති සගයන් සඳහාම සූදානම් කරන ලද්දක්. ඒ නිසා එතැන රජ කුමරියකට ඔබින්නේ නැති බව කියමින් විලියම් කුමරුට දියණිය එහි යාම වළකන්නටත් තිබුණා.

පුවත්පත් වාර්තාවල දක්නට ලැබුණු පරිදි ආරක්ෂකයන් කිහිප දෙනෙකු මුලින්ම අවන්හලට ඇතුළු වෙන අතර ඉන්පසු චාලට් කුමරිය දැඩි විශ්වාසයකින් පියාට පෙර අවන්හල තුළට ගමන් කරනවා.රෝස පැහැ කඩදාසියකින් ඔතන ලද විශාල තෑග්ගක් ද සමඟ චාලට් කුමරිය අවන්හලට ඇරලවා පිටව යන විලියම් කුමරු නැවත ඇය රැගෙන යාමට පැමිණෙනවා.

මේ අවන්හලේ බිම්මහල සාද සඳහා විවෘතයි.රුසියා යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් යුක්‍රේනයට සහය පළ කිරීමට මෙහි විකුණන Slava Ukraini Pizza වල ආදායමෙන් කොටසක් යුනිසෙෆ් වෙත බැර වෙන බවත් අසන්නට ලැබෙනවා.මේ අවන්හල ඩයනා කුමරියගේ ප්‍රියතම පීට්සා අවන්හල් වලින් එකක් බවත් කියැවෙනවා.අවන්හල් හිමිකරු විලියම් කුමරු සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නට අවසර ඉල්ලා තිබුණත් කුමරු එය ප්‍රතික්ෂේප කර තිබුණා.නමුත් ඔහු අතට අත දී අවන්හල් හිමිකරුට සුබපතා තිබුණා.අතීතයේ ඩයනා කුමරිය එම ස්ථානයට පැමිණෙන අන්දම සහ ඇණවුම් කළ දේ ගැනත් අවන්හල් හිමිකරු කුමරුට පවසා තිබුණා.

කේට් කුමරිය පවසන අන්දමට ජෝර්ජ් කුමරු,චාලට් කුමරිය සහ ලුවී කුමරු මෙන්ම පීසා වලට දැඩි ලෙස ඇලුම් කරනවා.විලියම් කුමරු සහ කේට් කුමරිය ඉවුම් පිහුම් කරන්නට වඩා රුචි කරන බවත් එක් වතාවකදී මාධ්‍යයට පවසා තිබුණා.

“මම නම් පීසා හදන්නේ නැහැ.දරුවෝ හදනවා.මාත් කනවා..” විලියම් කුමරු එසේ කියද්දී ජෝර්ජ් හා චාලට් සමඟ එක්ව පීට්සා ඩෝ එක සකසන අන්දම කේට් කුමරිය හෙළිදරව් කර තිබුණා.

මෙය ඉතා සාමාන්‍ය කතාවක් බව ඔබට සිතෙනවා ඇති.නමුත් මේ කතාව ලියා තැබිය යුත්තේ සාම්ප්‍රදායන්ට කොටු වී දරුවන්ගේ ආශාවන්ට ඉඩ නොදෙන දෙමාපියන් අපේ සමාජයේ ද බහුල නිසා.තමන්ගේ පවුලේ තත්වයට නොගැලපෙන බව සිතමින් දරුවන්ට ඇතැම් මිතුරන් ඇසුරු කරන්නට ඉඩ නොදීම සමහර දෙමාපියන්ගේ සිරිතක්.නිලබලය හෝ මූල්‍ය තත්වයන් දරුවන්ගේ මිත්‍රත්වයන්ට අදාළ වන්නේ නැහැ.ඔවුන්ට ඒ මිතුරුදම් නොබිඳෙන ලෙස ආරක්ෂා කර ගන්නට ඉඩ දීම දෙමාපියන්ට කළ හැකි සුන්දරම දෙයක්.
විලියම් කුමරු චාලට් කුමරිය වෙනුවෙන් කළේ එවැනි දෙයක්.ඩයනා කුමරියගේ හොඳ හිත ඔහු සතුව තිබෙනවා වන්නටත් පුලුවන්.එය කොහොම වුණත් රජ පවුලේ සමහර සම්ප්‍රදායන් අමතක කරමින් දරුවන්ට ඔවුන්ගේ ලෝකයේ නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීම මොනතරම් වටිනා කාරණාවක් ද?

“ඒ වගේ පවුලක ළමයෙක් අපිට ගැළපෙන්නේ නැහැ..” කියමින් දරුවන්ගේ මිතුරුදම් සහ ප්‍රේමයන්ට හරස් කපන දෙමාපියන්ට විලියම් කුමරුගෙන් ලැබෙන පණිවිඩය එයයි.මිත්‍රත්වයට කිසිවක්ම අදාළ වන්නේ නැහැ.දරුවන්ගේ සතුට සාම්ප්‍රදායික කාරණා වලින් බිඳ දැමිය යුතු ද නැහැ.

දෙමාපියන් වීම යනු වඩා පුළුල් ලෙස දරුවන්ගේ ලෝකය සහ ඔවුන්ගේ ආශාවන් දෙස බැලීම බව හැම මවක් සහ පියෙකුම වටහා ගත යුතු කාරණාවක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here