දිනපතා මව්බිම හා Ceylon Today මුද්‍රණය නවතී

0
2

හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට අයත් ප්‍රකට මාධ්‍ය ආයතනයක් මඟින් ප්‍රකාශයට පත්කරන ‘මව්බිම’ සහ එහි ඉංග්‍රීසි පුවත්පත වන ‘සිලෝන් ටුඩේ’ (Ceylon Today) හි දෛනික මුද්‍රිත කලාප නතර කිරීමට පියවර ගෙන තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් අද (04) දිනයේ නිකුත් වූ අදාළ පුවත්පත්වල මුල් පිටුවල නිවේදනයක් පළ කරමින් කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ, මින් ඉදිරියට සිය ප්‍රවෘත්ති ආවරණ කටයුතු ඩිජිටල් අවකාශය හරහා පමණක් සිදුකරන බවය. 
කෙසේ වෙතත්, දෛනික පුවත්පත් මුද්‍රණය නතර කළද, සතිඅන්තයේ නිකුත් වන ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ කලාපයන් තවදුරටත් මුද්‍රිත මාධ්‍යයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ආයතනික කළමනාකාරීත්වයේ මෙම තීරණය හේතුවෙන් එහි සේවකයෝ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති. 

ආයතනයේ සේවකයින් විසින් කළමනාකාරීත්වයට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක් ද එල්ල කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන්ට හිමිවිය යුතු වැටුප් හිඟ මුදල් මෙතෙක් ගෙවා නිම කර නොමැති බවත්, වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) නිසි පරිදි ගිණුම්ගත කර නොමැති බවත්ය.

ඕනෑම ආයතනයක් වසා දමන්නේ නම් එය 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතට අනුකූලව සිදුවිය යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  

මව්බිම සහ Ceylon Today පුවත්පත්වල සේවකයන් මුහුණ දී ඇති අවදානම පිළිබඳව අද (04) පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, අදාළ මාධ්‍යවේදීන් ආයතනය සමඟ එළඹී ඇති ගිවිසුම් පරීක්ෂා කළ යුතු බවත්, ඔවුන් ලබාදුන් සේවයට අදාළ වැටුප් ගෙවීමට පාලනාධිකාරිය බැඳී සිටින බවය.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද නලින්ද ජයතිස්ස මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here