“දළදා මාළිගාව පවත්වාගෙන යන්න වසරකට රු. කෝටි 150ක් අවශ්‍යයි”

0
7

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අපහසු බවත්, එය මෙම වසරේ අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

පල්ලෙකැලේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිලමේවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේ නිලංග දෑල මහතා,

“2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා.  
නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕන.
එනිසා දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. 
ඒ මොකද සේවක සුබ සාධනය, සේවකයෝ වගේම දළදා මාළිගාව තුළින් ඉටුකරන හා ඉටුකළ යුතු කාර්ය භාරයන් ඉටුකරන්න අපට වගකීමක් පැවරිලා තියෙනවා.
ඒ නිසා දැවැන්ත වගකීමක් මාහට පැවරිලා තියෙනවා.” 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පත්වීමෙන් අනතුරුව වසර 20ක කාලයක් පුරා දළදා මාළිගාවේ පෙරහැර ඇතුළු අනෙකුත් මංගල්‍යයන් හා ආගමික වතාවත් මෙන්ම විවිධ කාර්යයන් උදෙසා සහාය දැක්වූ 453 දෙනෙකු උදෙසා කෘතගුණ දැක්වීමේ ‘මෙහෙවරට බුහුමන් ” ප්‍රණාම උලෙළේ දී ඔහු මේ බව කියා සිටියේය.

පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි.  

මෙහිදී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය 125 දෙනෙකු, ප්‍රවීණ කලාකරුවෝ 210ක්, අලි ඇතුන් හිමියෝ 69 දෙනෙකු හා හස්ති පාලකවරු 39 දෙනෙකු වශයෙන් 453 දෙනෙකු ගෞරව බුහුමනට පාත්‍ර වූහ.

මල්වතු පාර්ශ්වයේ අනූනාහිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවරට බුහුමන්  සේවක ප්‍රණාම උළෙලේ දර්ශන පහතින් නැරඹිය හැකිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here