දවස ලස්සන කරන්න ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්න 

0
11


අපි හැමෝම කැමතියි ලස්සන දවස් ඉවර කරන්න.  ඔයාගේ දවස ලස්සන කරගන්න වැඩි වියදමක් නැතුවම කරන්න පුළුවන් කාරණා කිහිපයක් තමයි අද අපි ඔයා එක්ක බෙදාගන්නේ. 

ඔයාගේ කලින් දවසේ නින්ද, ඔයාගේ අලුත් දවසට ලොකු බලපෑමක් කරනවා. කඩින් කඩ, සුවපහසුවට නොලැබුන නින්දකට පස්සේ ඔයාට ලැබෙන්නේ අපහසු දවසක්. එහෙම දවසක කටයුතු කලමණාකරණය කරගන්න එක ලේසි නැහැ. ඒ නිසා අඩුම තරමේ පැය හයක –   අටක  වත් නින්දක් වෙනුවෙන් උත්සාහ කරලා බලන්න. 

අපි හැමෝම ගෙවන්නේ ඉතාම කාර්‍යබහුල ජීවිත නේ. විනාඩියක පමාවෙන් දවසේම වැඩ කටයුතු පැටලෙන්න පුළුවන්. ඒ  හින්දාම අපි දවසේ වැඩ වලට සූදානම් වෙන්න ප්‍රමාණවත් වෙලාවක් තියාගෙන නැගිටින්න උත්සාහ කරන්න. කලබලෙන් සූදානම් වුණාට පස්සේ ඒ කලබලය දවස පුරාම තියෙනවා. එහෙම කලබල එක්ක වැඩ කරන්න ගියාම අතපසු වීම්, වැරදීම් වෙන්න තියෙන ඉඩ කඩ හරිම වැඩියි. 

ඔයා බෝඩිමක තනියෙන්ම ඉන්න කෙනෙක් නම්  මේක ඔයාට වැදගත්. උදේ නැගිට්ටම ඇහෙන්න දාලා තියන සින්දු කිහිපයක් බා ගත කරගන්න. ඔයා ආස කරන විදියේ ඕනෑම භාෂාවක , ඕනෑම ගීතයක් වෙනුවෙන් උඩ්ස් හදාගන්න පුළුවන්. හිතන්න; දවස පුරාම සැරින් සැරේ සින්දුවක් හිතේ වාදනය වෙන එක ලස්සන අත්දැකීමක් වේවි. 

ඉස්කෝලේ යන්න කලින් හරි, එහෙම නැත්නම් ඔෆිස් යන්න කලින් හරි අනිවාර්යයෙන්ම ඔයා කණ්ණාඩියෙන් මූණ බලනවානේ. ඒත් ඒ බැලිල්ල ගැන නෙවෙයි මේ කියන්නෙ. මේක විනාඩි කිහිපයක් ගතවෙන මිලියන වාසි තියෙන ටිප් එකක්. කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන ඔයා දිහා බලන්න. ඊයේ කොහොම ඉවර වුනත්  අද දවස වෙනුවෙන් ඔයා ලස්සනට සූදානම් වෙලා ඉන්න හැටි දකින්න. ඔයා එක්කම හිනාවෙන්න. ඇත්තටම ඔයා කොච්චරක් සුන්දරද කියලා ඔයාටම පේන්න දෙන්න.   ඒක දවසම ලස්සනට තියන්න කොච්චරක් උදව් වෙනවද කියලා බලන්න නම් එකම එක දවසක් හරි කරලා බලන්නම වෙනවා. 

නැගිටලා, වතුර වීදුරුවක් බීලා, ජනේලයකින් අහස දිහා බලලා  ගැඹුරු හුස්ම කිහිපයකින් නැවුම් වෙන්න උත්සාහ කරන්න. ඔයාගේ මුළු ඇඟටම දැනෙන්න ඒ හුස්ම ආශ්වාදය කරන්න

ගෙදරින් එලියට බහින්න කලින් හරි  , එහෙම නැත්නම් වැඩ පටන් ගන්න කලින් හරි  විනාඩි කිහිපයක් ඔයාටම ස්තූතිවන්ත වෙන්න. ඔයාට උදව් වුණ හැම දේකටම ස්තූතිවන්ත වෙන්න. ඔයා විශ්ව ශක්තිය ගැන මොනයම්ම හෝ විශ්වාසයක ඉන්නවා නම් විශ්වය වෙනුවෙන් ස්තුතිය පල කරන්න. මේ දේවල් තත්පර ගණන් වල වැඩ. ඒත් කරලා බලන්නකෝ  ඒවාගෙන් ඔයාගේ දවසට වෙන වෙනස.

කොළපාට කියන්නේ ඇහැට හරි සෞම්‍ය පාටක් කියලා ඔයාලත් දන්නවනේ. ඔයා ඉන්නේ ලොකු ගෙවත්තක් නැති කොන්ක්‍රීට් වනන්තරයක් මැද්දේ වුණත්, මේ කොළ  පාට නම් මිස් කරගන්න එපා. ඔයා ඉන්නේ ගහක් කොළක් පේන්නවත් නැති බෝඩිම් කාමරේක නම්, කාමරේ ඇතුලේම ඕනි විදියකට හැදෙන පැළ ඔයාට හොයාගන්න පුළුවන්. එහෙම පැලයක් අරගෙන උදේට ඒකට වතුර ටිකක දාලා අලුතින් එන දල්ලක් එහෙම දැක්කම ලැබෙන සතුට විඳලාම බලන්න ඕනි. 

කෑම උයනවා කියන එක දැන් මහ ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. කඩෙන් කනවා කියන එක හිතෙනකොටම සමහරවිට ඔයාගේ දවස මුස්පේන්තු වෙලා යනවා ඇති. ඒ නිසා දවල්ට කන්න මොනවා හරි ගෙදරින් අරගෙන යන්න උත්සාහ කරන්න. තම්බපු එළවලු ටිකක් එක්ක, බත්, ඔම්ලට් එක්ක කියන්නෙම මහ වෙලාවක් යන ආහාර වේලක් නෙවෙයි නෙහ්. 

දවස පටන් ගන්නත් කලින්, පෙර දවසේ ප්‍රශ්නේකට ඔයාව අවුල් කරන්න දෙන්න එපා.ඉස්සෙල්ලාම අලුත් දවසට ඉඩ දෙන්න. අලුත් දවසේ වැඩ වල යෙදෙන්න. ඒ අතරේදී පරණ ප්‍රශ්න වලට අවධානය දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාට දවස ලස්සනට ගෙවන්න පුළුවන් වෙනවා. 

ඔයාගේ ශක්‍යතාවය ගැන හොඳින්ම දන්නේ ඔයා. ඒ නිසා දවසේ කරන්න පුළුවන් වැඩ වල ප්‍රමාණය දන්නේත් ඔයා. ඒ සීමාව ඉක්මවලා යන තරමට වැඩ ගොඩ ගහ ගන්න එපා. එහෙම ඉලක්ක පස්සේ හඹා යන්න ගියාම දවස තිස්සේ අනෙක් වැඩ කෙරෙන්නේත් පිළිවෙලට නෙවෙයි. 

අපි හැමෝටම තියෙනවානේ හැපි පිල් එකක්.

ඒ කියන්නේ සතුටු පෙත්තක්. ඒක එකිනෙකාගෙන් වෙනස් වෙනව ඉතින්. ඒ නිසා ඔයාගේ සතුටු කාරණාවට ඉඩ දෙන්න. ඒ සතුටු කාරාණාව එක්ක විනාඩි කිහිපයක් ගෙවෙන්න දෙන්න ඉඩක් හදාගන්න. ඒක ඔයාටම විතරක් සුවිශේෂ කාරණාවක් කරගන්න.

බස් එකේදි, වෑන් එකේදී එහෙම නැත්නම් පාරේ තොටේ හමුවෙන අය එක්ක ඔයාව සසඳන එක නවත්තන්න. ඔයා ඔයාටම සුවිශේෂී වුණ හැකියාවන් තියෙන මනුශ්‍ය ආකාරයක් බව විතරක් විශ්වාස කරන්න. ඔයාගේ ශක්තීන් එක්ක ඔයාට ළඟා වෙන්න පුළුවන් ඉලක්ක වලට යන බව නිතරම කල්පනා කරන්න. කිසිම වෙලාවක ඔයාගේ වටේ ඉන්න අයව ඔයා එක්ක සසඳන්න නම් එපා. 

ඉතින්, මේ විදියට පොඩි පොඩි දේවල් කිහිපයක් උදේ වරුවේ කරන්න පුළුවන් නේද ? සති තුනක් මේ කාරණා කරලා බලන්න. ඔයාටම දැනේවි ඔයාගේ ජීවිතේ ලස්සන දවස් ගෙවෙන බව. ඔයාට පෙනේවි ඔයාගේ වැඩ කොච්චරක් පහසු වෙනවද කියල.

| අපේක්ෂා ගුණරත්න | 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here