දරුවාගේ පැමිණිලි ඔබත් ඉස්මුදුනින්ම පිළිගන්නවාද?

0
12


තුන වසරේ ඉගෙනුම ලබන පුංචි පුතා උදෙන්ම අරගෙන ආවේ මේ විදිහේ පණිවිඩයක්…!

“අපේ නංගි ඉස්කෝලෙ එන්න බැහැ කියනවා… ටීච එයාට ගහනවාලු.. ඒ නිසා හැමදාම උදේට නංගි ඉස්කෝලේ එන්න බැහැ  කියනවා…” පුංචි පුතාගේ පැමිණිල්ල එයයි.

ඒත් ගුරුතුමියට මෙය තේරුම් ගන්න බැරි තරම් ගැටලුවක්. පංතියේදී කිසිම දරුවෙකුට ඇය දඬුවම් කලෙත් නැහැ. පංතියේදී කිසිම දරුවෙක්ගෙන් දඬුවම් කරන්න තරම් වරදක් වුනෙත් නැහැ. ඇය තනියම කල්පනා කලාය. උදේ පැමිණිල්ල සිදු කල පුතාගෙන් නම දැනගත් ගුරුතුමිය මේ චෝදනා නගන දියණියගේ පොත් පත් පරීක්ෂා කළාය. එහි කිසිම පසුගාමී බවක් තිබුනෙත් නැහැ. මේ දියණිය මෙසේ බොරුවට ගතු කියන්නේ ඇයිදැයි හිතා ගැනීමටත් නොහැකි තරම් ගැටළු සහගත විය.

“ඇයි දුවට පංතියේ වැඩ අමාරුද…?”

“නැහැ…”

“ඔයාට මොනව හරි තේරෙන්නේ නැත්නම් මට කියන්න.. මං ආයෙම කියල දෙන්නම්..” ගුරුතුමී කීව්වා.

ඒත් මේ පුංචි දියණිය තමාට අපහසුතාවයක් තිබෙන බව කිව්වේ නැහැ.

විවේක වේලාව තුළ අයියාට කතා කරන්නැයි ගුරුතුමී දියණියට කියා සිටියේ ඇය උදේට අඬන කාරණාව ගැන දැනගැනීමටයි. ඒත් දියණිය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි. කොහොම වුනත් එදා දවසේ පංතියේ ඇය ගැනම ගුරුතුමිය අවධානය යොමු කලේ මේ චෝදනාව නිසා ඇති වුන කම්පනයත් සමගයි.

දවස අවසානයේදී ඇය නැවත කුඩා දියණියට කියා සිටියේ අයියාව තමාට මුණ ගැසීමට කටයුතු කරන ලෙසයි. ඒත් ඇය කියා සිටියේ අයියාගේ පංතිය නොදන්නා බවයි.

“එහෙමනම් අපි යමුකෝ ගේට්ටුව ලගට අයියා එතනට ඒවි නේ..” ගුරුතුමිය දියණිය සමග පාසල් ගේට්ටුවව වෙත ගියාය. එතැනදීත් ඇය අයියාව ගුරුතුමියට මුණගැසීමට බාධා කරමින් හැසිරුනත් හදිසියේම එතැනට පැමිණියේ මේ කුඩා දියණියගේ මවයි. ඇය පංති බාර ගුරුතුමියගේ මිතුරියකි.

දැන් අම්මාට සතුටුයි. තමාගේ මිතුරියක් දියණියගේ පංති බාර ගුරුතුමිය වීම නිසා ඇයටත් අස්වැසිල්ලකි. ඒත් තමා වසර ගණනාවක් දන්නා හදුනනා පරිදි කුඩා දියණියට සැර පරුෂ ලෙසින් සලකන කුරිරු චරිතයක් තමාගේ මිතුරියට නොමැති බව ඇය හොඳාකාරවම දනී. ඒ වගේම මේ ගැන තමා විදුහල්පතිට හෝ වෙනත් අයෙකුට පැමිණිලි නොකිරීම මොන තරම් වටිනවාදැයි ඇය තනිවම සිතුවාය.

“මොකද දුව උදේට කලබල කරන්නේ..?” ගුරුතුමී ඇසුවාය.

දියණියගේ මව නිරුත්තර වුනේ පුතා මේ පණිවිඩය ගුරුතුමියට සඳහන් කළ වගක් ඇය නොදන්නා නිසාය. දියණියගේ චෝදනාවන් ගැන පැමිණිලි කිරීමට ඇය උනන්දු වූයේත් නැහැ.

“අනේ දන්නේ නැද්ද ඉතින්… මං ඒවා ගණන් ගන්නේ නැහැ… ඊටත් ඔයා ගැන මම දන්නේ නැතුවායැ…” ඇය කීවාය.

“ඔයා කොහොමද දන්නේ…”

“මට ඔයාගේ පුතා කිව්වා…”

“අනේ බලන්නකෝ… පණ්ඩිත වැඩ… මං නිකමටවත් එහෙම කියන්න කිව්වෙත් නැහැ..” ඇය කීවාය.

“නෑ එහෙම කියපු එක හොඳයි…”

ඇත්තටම පාසල, පංතිය, ගුරුවරුන් මුල් කර ගෙන දරුවන් කියනා ගතු සියල්ල හැම විටම සත්‍ය නොවේ. තමාගේ වාසිය මුල් කර ගෙන ඔවුන් ඉතා ලස්සනට ප්‍රබන්ධ ගෙතීමට සමර්ථයන්ය.මේ නිසා දරුවන් ගෙනෙන පැමිණිලි ගැන එකහෙලාම තීන්දු තීරණ ගැනීම එතරම් සාධාරණ නැත.

පංතිභාර එහෙම නැත්නම් විෂය බාර ගුරුතිමිය හෝ වෙනත් අයගෙන් තමාට හිරිහැර සිද්ධ වෙන බවට ඔබේ දරුවාත් පැමිනිලි කරන්න පුලුවන්. එ වගේ අවස්ථාවකදී වටපිටාවෙන් ඒ ගැන විපරම් කරන්න. තවත් අය විසින් මකියන තොරතුරු මේ සිද්ධියට සාධාරණ නම් ඒ ගැන ඉදිරි පියවර ගැනීම ඇත්තටම සිද්ධ විය යුත්තක්.

ඇතැම් දෙමව්පියන් ඉතා සුලු දෙයට පවා පැමිණිලි කිරීම සිරිතක් සේ කරන කටයුත්තක්. ඒත් ඔබ ඉක්මන් නොවන්න. පැමිණිලි කිරීමට පොතුව මේ සිදුවීම ඔබටම විසඳා ගන්න පුලුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් කියන දේ මතම යැපෙන්න එපා.

දරුවන් තමාගේ කුමන හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් බොරු කීමට උනන්දු වන්නේ නම් එහි ආදීනව ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න.

තමාගේ දරුවා වුනත් නිවසට ගෙනෙන හැම පැමිණිල්ලක්ම සාධාරණ නැත. ඒ නිසා මේ ගැන දෙවතාවක් හිතන්න. ඔවුන්ට යම් යම් අපහසුතාවයක් එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති  වුනොත් ඒ ගැන විවිධ විදිහට චෝදනා නගන්න පුලුවන්. කිසිම විටෙක ඒ ගැන කලබල නොවී මධ්‍යස්ථ සිතින් එහි පසුබිම විමසා බලන්න. එවිට ඇත්ත සහ නැත්ත අතර තිබෙන පරතරය ඔබට අවබෝධ වේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here