දරුවාගේ කාමරයට එස් 5

0
13


එස් පහ (5S) සංකල්පය ජපන් ජාතිකයන් විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ක්‍රමවේදයක්. මෙහි දක්වා ඇති පංචවිධ සංකල්ප මගින් අපේ කාලය ඉතිරි වෙන අතර සම්පත් ඵලදායක ලෙසින් පාවිච්චි කිරීමට දැණුවත් බවක් ලැබෙනු ඇත.ඔබේ දරුවාගේ කාමරය පිලිවෙලකට තබා ගැනීම වෙනුවෙන් ඔබට ඔහු සඳහා මෙම පංච විධ සංකල්ප හඳුන්වා දිය හැකිය.

දරුවාගේ කාමරයේ තිබෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. සමහර දරුවන්ගේ කාමරය බොහෝ සේ තිබෙන්නේ අනවශ්‍ය දේ බව ඒවා අස් පස් කරන විට ඔබටම පෙනේවි. මේ නිසා අනවශ්‍ය දේ ගොඩ කර ගැනීම නිසා ඒවා ඉවත් කිරීමේ අපහසුතාවය පමණක් නොව කාමරයේ අපිලිවෙල තත්වයක් ඇති වෙන බව දරුවාට පැහැදිලි කර දීම ඉතා වැදගත්. අනවශ්‍ය ලෙසින් ප්ලාස්ටික් ඇසුරුම්, පොලිතින් මලු කාමරයෙන් ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය යමක් වේ නම්  ඒවා වෙනම අසුරා තබන්නත්  උපදෙස් ලබා දෙන්න. කසල බැහැර කරන විටත් දිරන, නොදිරන සහ ඝන අපද්‍රව්‍ය ලෙසින් වර්ගීකරණයකින් ඒවා බැහැර කරන ලෙසට උපදෙස් ලබා දෙන්න.

පවතින භාන්ඩ හෝ වෙනත් උපකරණ ලැබෙන විට පවතින දේ එම ස්ථානයෙන් ඉවත් කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තකි. එහෙත් බොහෝ දෙනා ඒ ගැන අමතක කිරීම නිසා කාමරයේ ඇති වෙන්නේ අපිලිවෙලකි. අලුත් ඇඳුම් වලින් අල්මාරිය පිරෙන විට පවතින ඇඳුම් අතර පරහරනයට නොහැකි ඒවා ඉවත් කරන්න. එවිට නොදැනීම අලුත් දේ වෙනුවෙන් කාමරයේ ඉඩක් ඇති වේ.

දරුවාගේ කාමරයේ පිලිවෙල ඇති කිරීම එතරම් අපහසු කාර්යක් නොවෙයි. ඔහුගේ පොත් පත් විෂය අනුව වගේම අවශ්‍යතාවය අනුව වර්ග කරන්න. ඉතා පහසුවෙන් අවශ්‍ය දේ තෝරා ගැනීමට පොත් වෙනුවෙන් වර්ණ කේත භාවිතා කරන්න. එක් එක් විෂය වෙනුවෙන් තෝරාගත් වර්ණවලින් කවර යොදන්න. එවිට දරුවාට වෙහෙසක් නොමැතිව තමාට අවශ පොත් පත් තෝරා ගැනීම පහසු වෙනවා.

ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම ස්ථානයක් වෙන් කරන්න. පැන්සල, පෑන පමණක් නොව සපත්තුව, ම්ස් දෙක, කුඩයට පවා ස්ථානයක් ලබා දෙන්න. එවිට කාලය අනවශ්‍ය සේ වැය නොවී තමාට අවශ්‍ය දේ සොයා ගැනීම පහසු වේ.

ඒ වගේම අවශ්‍ය දේ ඉතා පහසුවෙන් තෝරා ගැනීමට ලේබල් යොදා ගැනීමත් වඩාත් පහසු වේ. පොත් පත් වෙනුවෙන් වර්ණ කේත යොදා ගැනීමට අමතරව මෙම පොතේ විෂය කුමක්දැයි ලේබල් කරන්න.

දරුවාගේ කාමරය නිවසේ තිබෙන ප්‍රසන්නම ස්ථානය වීම වැදගත් වේ. මේ නිසා නිතරම අතුගා පිරිසිදු කර ගැනීමට ඔවුන්ට උපදෙස් දෙන්න. කොට්ටඋර ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් ලබා දෙන්න. මකුලුදැල් ආදිය නිතරම කඩා ඉවත් කර ගැනීම ඉතා වැදගත්. බොහෝ දරුවන් අද ශ්වසන ආබාධ වලින් පෙලෙන තත්වයට පත්ව ඇත්තේද ඔවුන් ජීවත්වෙන වටපිටාවේ පවතින අපිරිසිදුබව නිසාය.කාමරයේ පවතින අඳුරු අහුමුලු මදුරුවන්ට වාසස්ථාන සපයනු ඇත. නිරන්තරව පරීක්ෂා නොකරන විට වේයන් , කාවන් වැනි කෘමිසතුන් බෝවෙන අතර එයින් පොත් පත් පවා හානියට පත් වෙන අවස්ථාවන් ඇත.

දරුවාගේ කාමරය තුළ ක්‍රමානුකූල බවක් නොතිබුන විට එය පිස්සාගේ පලා මල්ලට සමාන වේ. ඔහුට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට පහසුවෙන් සොයා ගැනීම අපහසුය. එය පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වැනි කාර්යක් වෙනු ඇත. මේ නිසා පොත් පත්, ඇඳුම් පැලඳුම් පමණක් නොව ඔහුගේ සියලු බඩු භාන්ඩ සහ ලිපිද්‍රව්‍ය අවම වේලාවකින් සොය ගත හැකි පරිදි ක්‍රමානුකූල බවකින් යුක්ත වීම ඉතා වැදගත් වේ.

දරුවාට බාල කාලයේ පටන්ම තමාගේ කාමරය පමණක් නොව ඔවුන් ජීවත් වෙන පරිසරය ඉතා පිරිසිදුව සහ පිළිවෙලට පවත්වා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම ඉතා වැදගත් වේ. එයින් පබන ශික්ෂනය නිසා ඔහු තමාගේ ජීවිතය තුළ ගොඩ නගා ගන්නා පිළිවෙල ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙනු ඇත.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට අපිළිවෙල මගින් මනසට ඇති කරන අවිවේකය ඉතා අහිතකර ලෙසින් අපේ සාමාන්‍ය ජීවිතයට බලපාන බවයි. මේ නිසා නිතරම අවශ්‍ය සහ අනවශ්‍ය දේ තෝරා ගෙන එයින් අත්‍යවශ්‍ය දේ තබා ගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න. අනාගතයට අවශ්‍ය දෙයක් ඇත්තේ නම් එය සුරක්ෂිතව තබන්න. පිළිවෙල ගැන නිතරම උනන්දු වෙන්න. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවාගේ මනස සන්සුන් වෙනවා පමණක් නොව ඉගෙණුම් කාර්යය වෙනුවෙන් ඔහු වෙතින්ම උනන්දුව ගොඩ නැගීමයි.හැකි හැම විටම ඔවුන් ඉදිරියේ ප්‍රසන්න පරිසරයක් ගොඩ නගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here