දරුවා නිදි කරවිය හැකි ක්‍රම පිළිබඳව ඔබ දැන සිටියාද?

0
12


නිදා ගැනීම වැඩිහිටියන්ට මෙන්ම ළදරුවන්ටද පුරුදු පුහුණු කරවිය හැකි ක්‍රියාවලියකි. දරුවාගේ නින්ද සඳහා මවගේ මානසිකත්වය ද බලපායි. සංසුන්, කලබල නොවන, ඉවසීම හා විඳ දරාගැනීමේ ශක්තිය ඇති මව්වරුන්ට දරුවාගේ නින්ද ගැටලුවක් විය හැකි ප්‍රවනතාවය අවමය. නිදාගැනීම සඳහා ළදරුවාට නිශ්ශබ්ද, සන්සුන්, විශ්වාසදායී පරිසරයක් සකස් කර දීම දරුවාගේ සුව නින්ද වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුත්තකි.

සාම්ප්‍රදායික තොටිල්ල (ලීවලින් හෝ රෙදිවලින් සාදා ඇති) හෝ  කුඩා ඇඳක් ද මේ සඳහා යොදා ගත හැකිය. එසේම ආලෝකය පාලනය කළ හැකි වීම, උෂ්ණත්වය පාලනය කළ හැකි වීම මෙන්ම නිහඬ පරිසරයක් තිබීමද ඉතා වැදගත් වේ.

ඔබේ දරුවා නිදි කරවන හා නිදාගන්නා ස්ථානය යන දෙකම එකම ස්ථානයක් විය යුතු නිසා කර මත හෝ කිරි පොවන අතරතුර නිදි කරවීම නොකරන්න. වෙනත් ස්ථානයක නිදි කරවා ඇඳ මත හෝ තොටිල්ල මත දරුවා තැබූ විට හදිසියේ නින්දෙන් අවදි වුවහොත් නුපුරුදු පරිසරයක් බැවින් දරුවා බියවනු ඇත. සෑම මොහොතකම දරුවා ඇඳ මත/තොටිල්ල මත නිදි කරවන්නට පුරුදු කරගන්න. එවිට දරුවා ඇඳ මත හෝ තොටිල්ල මත තැබූ විට නිදි කරවීමට සූදානමක් ලෙස දරුවාට දැනෙන බැවින් දරුවා නින්දට සූදානම් වේ. දරුවාට නිදිමත ඇති වූ විගස නිදි කරවීම ඇරඹිය යුතු අතර අවදිව සිටින මොහොතක බලෙන් නිදි කරවීම නොකළ යුතුය. නින්දට පෙර දරුවා සමඟ අනවශ්‍ය ලෙස සෙල්ලම් නොකරන්න. එය දරුවාගේ නින්දට බාධාවක් වේ. සිංදුවක්, කතන්දරයක් කීම නින්දට පිටුවහලකි. දරුවාට නින්ද ගිය පසු කුඩා කොට්ට දරුවා වටේට තබන්න. ඉතා කුඩා කාලයේදී නම් රෙද්දක් ගෙන වළල්ලක් සේ සකසා දරුවා වටා තැබිය හැක. දරුවා කැමති සෙල්ලම් බඩුවක් පසකින් තබන්න. දරුවා හදිසියේ අවදි වුවහොත් ඇඳ මත තබාම නිදි කරවීම සිදු කරන්න. අතට ගැනීම නොකරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here