සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ අප නිතරම අත්දකින රෝගීතාවයක්. එය වැඩිහිටියන් අතර වගේම දරුවන් අතරත් බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. නමුත් වැඩිහිටියන්ට වඩා හතර පස් ගුණයටත් වැඩි වාර ගණනකදී දරුවන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු විය හැකියි. මෙසේ නිතර අත්දකින, නිතර වැළඳෙන මේ සෙම්ප්‍රතිශ්‍යාව වෛරස් මඟින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති කරන රෝගී තත්ත්වයක්. මෙය බිඳිති ආසාදනයක්. එනම් රෝගියාගේ මුඛයෙන් හෝ නාසයෙන් පිටවන බිඳිති නිරෝගී පුද්ගලයෙකු වෙතට යාමෙන් බෝවෙන රෝග තත්ත්වයක්. මෙසේ කැස්ස, කිවිසුම් යාම වැනි අවස්ථා වලදී පිටවන කෙළ/සෙම බිඳිති පරිසරයට මුසු වන අතරම පරිසරයේ ගැටෙන කෙනෙකුගේ අත් වල තැවරී මුහුණ, මුඛය හෝ ඇස් මත ගැටීමෙන් මේ රෝගී තත්ත්වය ඇති වනවා. කුඩා දරුවන් තුල මෙය බහුලව දක්නට ලැබෙන්නේ එම දරුවන් සෑම තැනකම අතපත ගෑම වගේම ඒ අත් වලින් මුහුණ ඇල්ලීමත් සිදු කරන නිසයි.
සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික රෝග ලක්‍ෂණ
සාමාන්‍යයෙන් වෛරස් මඟින් ඇති කරන රෝග බොහෝමයක් ශරීරය තුල ඇති වී එය විසින්ම සාදාගන්නා ප්‍රතිශක්තිය මඟින් දින 7 – 10 අතර දී ඉබේම සුව වුවත් ඇති වන රෝග ලක්‍ෂණවලට අනුව තත්ත්වය පිළිබඳව අවබෝධ කරගත යුතුය. බොහෝවිට වෛරස් රෝග සඳහා ඖෂධ අනවශ්‍ය වුවද ඇති වන අපහසුතා සැලකිල්ලට ගෙන ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය ලෙස ආහාර හෝ සුළු ඖෂධ ලබාදීම වැදගත් වේ. එසේම මෙවන් තත්ත්ව ඇති වීමට පරිසරයේ පවත්නා සීතල දේශගුණය, තෙත් දේශගුණය, අධික උෂ්ණත්වය, සමහර ආහාර වර්ග මෙන්ම පරිසරයේ නොයෙකුත් දූවිලි අංශු අසාත්මික වීමද හේතු විය හැකියි. මෙසේ හෙයින් මේ තත්ත්වය ඇති වීමට හේතුව වටහා ගැනීම මඟින් ආසාත්මිකතා ඇති කරවන දෙයින් දරුවන් ඈත් කිරීම මඟින්ද මෙය වළක්වා ගත හැකිය.
එසේම ඇඳ රෙඳි, පොරෝනා, කොට්ට, මෙට්ට, මදුරු දැල් ආදිය ද දොර ජනෙල් පිරිසිදු කිරීම මඟින් දූවිලි හා ගැටීම අවම කර ගත හැකියි. එසේම නිවාස තුල වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ ජනෙල් දොරවල් විවෘතව තබාගැනීමත් වැදගත්. නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන්ගේ ඇඳ රෙඳි පොරෝන් ආදිය දිනකට වරක් වත් වනසේ පිරිසිදු කරගත යුතුය.
එසේම සියලුම පිළිවෙත් කිරීමේදී පෙර හා පසු දෑත් හොඳින් සබන් යොදා නිසි පරිදි සේදීමෙන් මුඛ ආවරණ භාවිතයෙන්, සෙම සොටු පිසදැමීමේදී භාවිත කරන ටිෂූ නිවැරදි ලෙස බැහැර කිරීමත්, ලේන්සු දිනපතා පිරිසිදු කිරීමත් වැදගත්. එසේම රෝගියෙකු සිටින විට අන් අය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත් රෝගියාටද අනිවාරයයෙන් මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබාදීමත් වැදගත්. එසේම සෙනග ගැවසෙන ස්ථාන වලදී මෙවන් රෝග බෝවීම සීඝ්‍ර වන හෙයින් නිරෝගී අය මෙන්ම රෝගී අයද එවන් ස්ථාන වල නොගැවසීම ඉතා වැදගත්. එපමණක් ද නොව පාසැල් හා පෙර පාසල් තුලදී රෝගී වූ දරුවන් සිටිනවා නම් සුව වන තුරු ගෙදර රඳවා විවේකය ලබාදීමට කටයුතු කළ යුතුමයි.
රෝගී වූවන් වෙන් කර තබාගැනීමෙන් හා උපකරණ පොදුවේ භාවිත නොකිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීමට ඇති හැකියාව වැඩි කරයි. රෝගී වූවන් සඳහා සරල හා පහසු ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමද වැදගත්. එහිදී මූලික ලක්‍ෂණ පහළ වන අවස්ථාවේදීම,
එමෙන්ම නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන දරුවන් මේ හේතුවෙන් ඇදුම තත්ත්වයටද පත්වීමට ඉඩක් ඇති හෙයින් සැලකිලිමත් වීමත් ඔවුන්ගේ පරිසරය දූවිලි වලින් තොරව සකස් කරදීමත් වැදගත් වේ. විශේෂයෙන් කොට්ට මෙට්ට ආශ්‍රිතව දූවිලි අවස්ථාවන් අවම කිරීම. පුළුන් කොට්ට භාවිතා කරන විට ආවරණ (කොට්ට උර) දෙකක් වත් දමා පාවිච්චියට ගැනීමත් ඒවා තද අව්වට නිරාවරණය කොට දූවිලිහරණය කර දැමීමත් වැදගත් මෙන්ම පුරුද්දකට යා නොදන ලෙස මූලික ප්‍රතිකාර හා සෞඛ්‍ය පිළිවෙත් මඟින් සෑදෙන වාර ගණන අඩුකර සමනය කර ගැනීම කළ යුතුයි.
මේ අයුරින් ශරීරය තුල ප්‍රතිශක්තිය වඩවන ක්‍රමවේද, සෞඛ්‍ය පිළිවෙත් හා සමනක ප්‍රතිකර්ම මඟින් නිතර වැළඳීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමම මින් ඇති වන කායික හා මානසික අපහසුතා වළක්වා ගැනීමටත් හේතුවක් වන අතරම නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කුඩා කල සිට පුරුදු පුහුණු කිරීමට මඟ විවර කිරීම තුලින් සමාජීය වශයෙන්ද මෙවන් වූ බෝ වන රෝග පාලනයට හේතුවක් වේ.
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල
Saru FM Media