මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය වේගවත් පරිවර්තනයකට ලක්ව සිටින සමයක ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (27) ආරම්භ කෙරුණි.
කොළඹ පැවති එම වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය අමතමින් එහි සභාපති මනෝරි වීරතුංග මහත්මිය පැවසුවේ මේ හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය සඳහා වැඩි වියදමක් දැරීමට රජයට සිදුවන බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ මනෝරි වීරතුංග මහත්මිය,
“වර්තමානයේ දකින ප්‍රධාන දෙයක් තමයි වයස්ගත ජනගහනය වැඩි වීගෙන යනවා. 2024 ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 18%ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ එක්කම වෙන තව ප්‍රධාන ගැටලුව තමයි තරුණ ජනගහනයට දරුවන් හදන්න තියෙන අවශ්‍යතාව සහා අවධානය ක්‍රමිකව අඩු වෙලා තියෙනවා. අපේ රටේ විශාල වශයෙන් තියෙන ගැටලුව තමයි සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නේ අවුරුදු 60ට ආවට පස්සේ. වයස අවුරුදු 40-60 අතර සෞඛ්‍ය ගැන හිතන්නේ නෑ. හැබැයි ඒ වයස තමා වැඩිපුරම සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න ඕනි වයස”
මේ අතර, රටක පැවැත්ම, ආර්ථික සංවර්ධනය ආදී කරුණු රැසක් කෙරෙහි එම රටෙහි ජීවත්වන ජනගහනය වැදගත් වෙයි.
තරුණ ජනගහනය වැඩිවීමෙන් රටක ශ්‍රම බලකාය ශක්තිමත්වන සේම වියපත් පිරිස රැකබලා ගැනීමටත් එමගින් අවස්ථාව ලැබේ.
Saru News













