
ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තියුණු ආයුධවලින් පහර දී පුලුස්සා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය නිවේදනය කර සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අයි.ඩී.” නමැත්තාගේ සමීපතයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ‘ටිකිරා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද වයස අවුරුදු 23ක තරුණයෙකි. මියගිය පුද්ගලයාගේ
මව විසින් ඔහු අතුරුදන් වී ඇති බවට පසුගිය 29 වන දින රාත්‍රියේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ විමර්ශනවලින් පසු මෙම මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ඉහත ස්ථානයට රැගෙන විත් තියුණු ආයුධවලින් මුහුණට පහර දී ඝාතනය කර ඇති බවත්, අනතුරුව මුහුණ ඇතුළු ශරීරයේ කිහිප ස්ථානයක් පුලුස්සා දමා ඇති බවත්ය.
පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇත්තේ, මියගිය කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි පුද්ගලයෙකු බවත්,
පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත්, අයිස් නමැති මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු බවත්ය.
පොලිසිය සැක කරන ආකාරයට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “අයි.ඩී.” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර තිබූ මෙම පුද්ගලයා පසුව ඔහුගෙන් ඈත්ව, එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පාවා දීම මෙම ඝාතනයට හේතුව වන්නට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියි. වැඩිදුර විමර්ශන දිගින් දිගටම සිදු කෙරෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලද වහාම මහජනයාට දැනුම් දෙන බවටද පොලිසිය ප්‍රකාශ කර සිටි අතර, මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ගැටුම් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පිහිටුවා විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින බවටද වාර්තා වේ.
Saru FM Media