තව දරුවෙක් හදන්න කලින් මේ ගැන හිතන්න!

0
11


“මට නංගියෙක් ඕනෑ” ඔබේ සිඟිති දියණිය හෝ පුතු මෙවැනි ඉල්ලීම් කරනවා ඇති. “දැන් ඉතිං දෙවෙනියෙක්ට කාලේ” සමීප අයත් ඔහොම කතා කියනවා ඇති.ඇත්තටම තව බබෙක් හිටියා නම්! ඔබටත් මෙහෙම හිතෙනවා ඇති. එක දරුවෙක් ඉන්න අම්මෙක්ට විතරක් නෙවෙයි, දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුට පවා තුන්වැනියා ගැන හැඟීමක් එන්න පුලුවන්.

එහි වරදක් නෑ.

ඒත් පවුලට තව දරුවෙක් ගේන්න කලින් ඔබ හිතන්න ඕනෑ දේවල් කීපයක්ම තියනවා. අපි ඒ ගැන කතා කරමු.

අවුරුදු හතලිහේදී පවා දරුවන් ලබන අම්මලා ඉන්නවා. ඉතා නීරෝගී දරුවන් සමඟ ඔවුන් සතුටින් ජීවත් වෙනවා. නමුත් ඔබ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරයෙක් සමඟ කතා කර පරීක්ෂණ කර ගැනීම වැදගත්. අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් තියනවානම් ඔබ ඒ ගැන විමසිලිමත් වෙන්නම ඕනෑ. ඒ වගේම මීට පෙර ගර්භනී කාලවල ඔබට සංකූලතා ඇති වුණානම් ඒ ගැනත් සැලකිලිමත් වීම වැදගත්.

මේ වෙද්දී අපේ රටේ පවතින්නේ හොඳ ආර්ථිකයක් නෙවෙයි. ඔබ තවත් ජීවිතයක් දරන්නට තරම් මූල්‍ය අතින් ශක්තිමත් ද කියලා කල්පනා කරන්න. දරුවන් සංඛ්‍යාව වැඩි වෙද්දී ඔවුන්ගේ ආරක්ෂාවට ඔබට ගෙදර නතර වෙන්න වුණොත් සැමියාගේ වැටුප ප්‍රමාණවත් ද? ඔබේ ඉතුරුම් කොයි ආකාරද කියලා ආයේ ආයේ හිතන්න.

ඔබට පමණක් තවත් දරුවෙක් ඕනෑ වෙලා හරියන්නේ නැහැ. නැවත වාරයක් තාත්තා කෙනෙක් වෙන්න සූදානම් ද කියන ප්‍රශ්නේ ඔබේ සහකරුගෙන් අහන්න. ඔහු එකඟ නොවී තනිවම ඒ තීරණය ගන්න නම් එපා. එය ඔබ පවුලක් ලෙස එක්ව ගත යුතු තීරණයක්.

පුංචි වුණත් පවුලේ තීරණ ගන්න එයාටත් අයිතියක් තියනවා.  ඒ නිසා නංගි කෙනෙක් මල්ලි කෙනෙක් පවුලට එකතු වෙන එක ගැන එයාගේ අදහස විමසන්න. ඊටපස්සේ ජීවිතය බොහොම ලස්සන වෙන බව, පවුල විශාල වීම නිසා සතුටින් ඉන්න පුලුවන් බව එයාට කියල දෙන්න 

සැලසුම් කරන දරු උපතකට යනවානම් ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැහීම හොඳ දෙයක්. මේ මොහොතේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කර ගන්න. පෙර ප්‍රසූති අවස්ථා සම්බන්ධයෙන් වෛද්‍යවරයාට විස්තර කියන්න. ඔබ නීරෝගී සිරුරක් සහිතව ගර්භනී වීම ඉතාම හොඳ දෙයක්.

දරුවෙක් දස මසක් දරන්නේ ඔබ. ඔබේ සිරුර ඔබ ඒ වෙනුවෙන් කැප කරන්නට ඕනෑ. සමහරවිට රැකියාව සහ උසස් අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නටත් පුලුවන්. සමහරවිට ඔබට වැඩිමහල් දරුවන්ට දෙන කාලයත් අඩු වෙන්න පුලුවන්. දරුවෙක් වෙනුවෙන් ඔබට කාලයත් සිරුරත් ශ්‍රමයත් වැය කල හැකිද කියලා කිහිප වතාවක්ම හිතන්න.

ඊටපස්සේ තීරණය ගන්න.

පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගන්න හිතන ඔයාලා හැමෝටම සුබ පැතුම්!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here