තක්සේරු කළේ ඇස් වහගෙනද? කවුද මේ වාහන ගත්ත කට්ටිය? ආණ්ඩුව තිබ්බේ වාහන වෙන්දේසියක්ද? වාහන දන්සලක්ද? රෝසි පැද්ද පෝෂේ කාර් එක විකිණුවේ ලක්ෂ 136කට! වටිනාකම ලක්ෂ 220යි! රෙක්ස්ටන් ජීප් එකේ තක්සේරුව ලක්ෂ 83යි! විකිණුනේ 95යි! හැබැයි වටිනාකම ලක්ෂ 150යි! ෆෝර්ඩ් වාහනයක තක්සේරුව ලක්ෂ 19යි! විකිණුනේ ලක්ෂ 88කට! හැබැයි වෙළෙඳපළ වටිනාකම ලක්ෂ 250යි! V8 එකේ තක්සේරුව ලක්ෂ 280යි! විකිණුනේ ලක්ෂ 320ට! හැබැයි වටිනාකම ලක්ෂ 470ක්! රෝසා බස් එකේ තක්සේරුව ලක්ෂ 22යි! විකිණුනේ ලක්ෂ 42කට! හැබැයි අද වෙළෙඳපළ වටිනාකම ලක්ෂ 90ත් පැනලා! Sri Lanka Latest News

0
4


පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ වාහන වෙන්දේසියේදී සිදුවූ බව කියන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය පසුගිය 19 වැනිදා කටයුතු කළා. පැමිණිල්ල ගොනුකිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම සංවිධානයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘ඔබ දන්නවා මැයි 15 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන දන්සලක් පැවැත්වුවා. මේ දන්සල පවත්වලා මේ රටේ රජයට අයිති වෙන්න තිබුණු මිලියන 300ක් විතර පාඩු කරලා තිබුණා. ඒකට තමයි අපි අද දිනයේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ආවේ. විශේෂයෙන්ම මේ වෙද්දී මේ රටේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා මේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන්. ඇත්තටම මෙතැන පවත්වලා තියෙන්නේ වෙන්දේසියක් නෙවෙයි. ටෙන්ඩර් ක්‍රමයට තමයි මේ වාහන ලබාදීලා තියෙන්නේ. හොඳම උදාහරණය තමයි මේ වාහන ලබාදීමේදී කේ.වයි. 9967 කියන ෆෝර්ඩ් ජීප් එක මේක 2014 වසරේ නිෂ්පාදිත වාහනයක්. මේකේ රජයේ තක්සේරුව ලක්ෂ 19යි. එතකොට මේ ලක්ෂ 19ට තක්සේරු කරපු වාහනය අලෙවි වෙලා තියෙනවා ලක්ෂ 88කට. හැබැයි වර්තමාන වෙළෙඳපළේ වටිනාකම මේ වාහනේ ලක්ෂ 250ක්. එතකොට මෙන්න මේක තමයි අපි කියන දූෂණය.

ඒ වගේම තමයි තව ෆෝර්ඩ් එකක් විකුණලා තියෙනවා 2014ම. මේකේ රජයේ තක්සේරුව ලක්ෂ 25යි. මේක අලෙවි වෙලා තියෙන්නේ ලක්ෂ 53කට. හැබැයි මේ රථය සී.ඒ.බී. 3453 කියන ෆෝර්ඩ් එකක්. මේ වාහනෙත් ලක්ෂ 250ක් වටිනා වාහනයක්. එතකොට ඒ වගේම තමයි 2012 වී.8 එකක් විකුණලා තියෙනවා කේ.යූ. 7912 කියලා. මේකේ රජයේ තක්සේරුව ලක්ෂ 280යි. හැබැයි මේක විකුණලා තියෙනවා මිලියන 32කට. එතකොට මේකේ වටිනාකම මිලියන 47ත් මිලියන 50ත් අතර ගානක්. ඒ වගේම රෝසා බස් එකක් විකුණලා තියෙනවා. ඒකේ රජයේ තක්සේරුව ලක්ෂ 22ක්. අද ත්‍රීවීල් එකකුත් ලක්ෂ 20ක් වෙනවා. හැබැයි මේගොල්ලෝ මේ බස් එක තක්සේරු කරලා තියෙන්නේ ලක්ෂ 22කට. ලක්ෂ 22කට තක්සේරු කරලා ලක්ෂ 42කට මේක විකුණලා තියෙනාව. හැබැයි මේකේ වෙළෙඳපළ වටිනාකම ලක්ෂ 90 පැනලා.
ඒ වගේම රෙක්ස්ටන් ජීප් 3ක් විකුණලා තියෙනවා මේගොල්ලෝ. මේ සී.ඒ.සී. 4493 කියන එක රජයේ තක්සේරුව ලක්ෂ 83යි. මේක මේගොල්ලෝ විකුණලා තියෙනවා ලක්ෂ 94.75කට. මේකේ වර්තමාන වෙළෙඳපළේ වටිනාකම ලක්ෂ 150ක්. හැබැයි මේ වගේම තව රෙක්ස්ටන් එකක් විකුණලා ලක්ෂ 50කට. එතකොට ලක්ෂ 150ක වාහනය මේ රජය විසින් විකුණලා තියෙන්නේ ලක්ෂ 50කට. මේකට තමයි අපි කිව්වේ දන්සලක් කියලා.

ඔබ දන්නවා රෝසි සේනානායක මහත්මිය පැදපු කේ.ඩබ්ලිව්. 6235 කියන කාර් එක මේගොල්ලෝ විකුණලා තියෙන්නේ ලක්ෂ 136කට. මේ වාහනේ ලක්ෂ 220ක් විතර වටිනවා. හැබැයි මාධ්‍ය සංදර්ශන දාලා පහුගිය දවස්වල ජනාධිපති කාර්යාලය ඉස්සරහා පෙන්නුවේ පහුගිය රජයේ හිටිය මැති ඇමැතිවරු පැදලා තියෙන්නේ ලක්ෂ 500ක් 700ක් වටින වාහන කියලා. වසන්ත සමරසිංහත් කිව්වා ඒ වගේම ජනාධිපතිතුමත් කිව්වා මේගොල්ලෝ මේ පස්ස තියාගෙන ගියේ ලක්ෂ 500ක් 700ක් වටින වාහනවල කියලා. හැබැයි එහෙම කියලා අද ලක්ෂ 500-700ක් කියපු වාහන ලක්ෂ 19කට තක්සේරු කරලා මේගොල්ලෝ විකුණලා තියෙනවා ඉතා අඩු මුදලකට. එතකොට මේ ලක්ෂ එකසිය ගණන් වටිනා වාහන තුට්ටු දෙකට විකුණලා වැරැදි ආකාරයට ටෙන්ඩර් මගඩියක් සිදුකරලා මේ හිතමිතුරන්ට බෙදාදීලා තියෙනවා කියන එක බොහොම පැහැදිලියි. මේ නිසා අපි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිල්ලක් කරනවා. ඒ වගේම අපි කොමිෂන් සභාවෙන් ඉල්ලනවා මේගොල්ලන්ගේ ඊළඟ වෙන්දේසිය තියෙනවා 06 වැනි මාසේ 11 වැනිදා. වාහන 10ක්. මේ වාහන 10 අලුත්ම වාහන. මේ වාහනවල තියෙනවා 2013, බී.එම්.ඩබ්ලිව්. තියෙනවා 2016. ටොයොටා ලෑන්ඩ් කෲෂුර් 2ක් තියෙනවා සී.ඒ. ටී. සහ සී.ඒ.වී කියන අංකවල 2017. ඒ වගේම තමයි මිට්සුබිෂි මොන්ටේරෝ එකක් තියෙනවා 2015 සී.ඒ.එෆ්.. ඒ වගේම තමයි මිට්සුබිෂි පෙජරෝ එකක් තියෙනවා, ටොයොටා ලෑන්ඩ් කෲෂර් එකක් තියෙනවා. මේ වගේ වාහන 10ක් නැවතත් ටෙන්ඩර් ක්‍රමයට ලබාදෙන්න මේගොල්ලෝ සූදානම් 06 වැනි මාසේ 11 වැනිදා. අපි අනිවාර්යයෙන්ම මේකට විරුද්ධව අධිකරණයට යනවා, මේකට විරුද්ධව නියෝගයක් ගන්නවා. ඒ වගේම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරනවා මේ ටෙන්ඩර් එක නවත්තන්න කියලා.

ප්‍රසිද්ධ වෙන්දේසියක් තියලා මාධ්‍ය දැනුවත් කරලා රටම දැනුවත් කරලා මේ වාහන ගෝල්ෆේස් එකට ගෙනල්ලා විකුණුවට අපි මොනවත් කියන්නේ නෑ. එතකොට රටේ ජනතාවට ඒකට සහභාගි වෙන්න පුළුවන්. අද මේ රටේ කාර් සේල් කීයක් තියෙනවද? කාර් මිලදී ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? 108 දෙනයි මේකට සහභාගි වෙලා තියෙන්නේ. ඒ 108 ඇතුළත මේ මාලිමා රජයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නෑදෑ හිතවතුන් පවා මේ වාහන අරගෙනයි කියලා දැන් එකින් එකට තොරතුරු වාර්තා වෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපි නීතිමය ගන්න සූදානම් බුද්ධිමය දේපළ පනත යටතේ. මේ රජයට අයවිය යුතු මිලියන 300කට වැඩි පාඩුවක් කරලා තියෙනවා රජයට සම්බන්ධ නිලධාරීන් සහ තක්සේරුකරුවෝ. ඔවුන් අනිවාර්යයෙන්ම මේක නිවැරැදි කරන්න ඕනේ. මොකද ලක්ෂ එකසිය ගානක් වටිනා වාහනයක් ලක්ෂ 19කට තක්සේරු කිරීමට කිසිම හැකියාවක් නෑ. එහෙම තක්සේරු කළා නම් තක්සේරුකරු වැරැදී කියන්නේ ඒ වාහනේ කොහොමද ලක්ෂ 88ට ගත්තේ? එතකොට ඇස් දෙක බැඳගෙනද ඒ පුද්ගලයා ලක්ෂ 19කට තක්සේරු කරපු වාහනේ ලක්ෂ 88කට අරගත්තේ? ඒකෙන්ම පේනවා මේ මගඩිය ඉතා පැහැදිලියි. ඒ නිසා මම කියනවා මේකේ කුණු හෝදන ඩෝබිලාටත්. කුණු හෝදන්නේ නැතුව මේ රටේ යථාර්ථය තේරුම් ගන්න.

මේ ආණ්ඩුවත් කරලා තියෙන්නේ තමන්ගේ හිතමිතුරන් අතරේ වාහන බෙදාදීමක් විතරයි. තිත්ත ඇත්ත කතාකරන අපිට ඇඟිල්ල දික්කරලා හරියන්නේ නෑ. ඕනෙම කෙනෙක් වැරැද්දක් කළොත් ඒ වැරැද්දට එරෙහිව කටයුතු කරන්න සියලු ශ්‍රී ලාංකිකයෝ හැටියට එකතු වෙන්න ඕනේ. පාට පක්ෂ භේදයකින් තොරව මේ කරපු විනාශයට එරෙහිව අපි රටේම ජනතාව ඉදිරියේදී එක්කහු කරන්න ලෑස්ති වෙනවා. මොකද කිසිසේත්ම මින් ඉදිරියට ටෙන්ඩර් පටිපාටිය යටතේ වාහන ටෙන්ඩර් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය හැටියට.’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here