තංගල්ල රොහලේ මෝචරියේ ඉඩ නැතිව මිනීවලට අයිස්දාලා ට්‍රොලිවල තියලා!

0
3

තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෘත ශරීර මතට අයිස් දමා ඒවා මෘතශරීරාගාරය ඉදිරිපිට ට්‍රොලිවල තැන්පත් කර කොරිඩෝවේ තබා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම රෝහලක් වන තංගල්ල මූලික රෝහලට බෙලිඅත්ත, තංගල්ල, වීරකැටිය, නාකුළුගමුව, වලස්මුල්ල සහ රන්න ආදී බොහෝ ප්‍රදේශවල සිට රෝගීහු පැමිණෙති. 

තවද බෙලිඅත්ත, නාකුළුගමුව, රන්න, අඟුණකොළපැලැස්ස, වීරකැටිය ආදී ප්‍රාදේශීය සහ දිසා රෝහල්වලදී මියගිය පුද්ගලයන් මෙන්ම හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ද පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහලට ගෙන එනු ලැබේ. 

මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එම සිරුරු තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කෙරෙන අතර වසර හතරක් වැනි දීර්ඝ කාලයක සිට රෝහලට ප්‍රමාණවත් තරම් ශීතාගාර පහසුකම් නොමැතිවීම ගැටලුවක් බව පැවසේ.

තංගල්ල මූලික රෝහලේ පැරැණි මෘතශරීරාගාරයේ වරකට මෘත ශරීර හයක් තැන්පත් කර තැබිය හැකි ශීතාගාරයක් තිබී ඇති අතර එම ශීතාගාරය නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමින් මේ වන විට අබලන්ව ඇති බව පැවසේ. 

මේ හේතුවෙන් එම ශීතාගාරය දැනට ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරයි.

නව මෘතශරීරාගාරයේ දැනට ඇත්තේ එක්වර සිරුරු දෙකක් පමණක් තැන්පත් කළ හැකි ශීතාගාරයක් වන අතර එය තංගල්ල මූලික රෝහලට ප්‍රමාණවත් නොවන බව කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. 

මේ හේතුවෙන් මෘත ශරීර තැන්පත් කර තැබීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

ඊයේ (12 ) පෙරවරුවේද මෙම මෘතශරීරාගාරය මෘත ශරීරවලින් පිරී ගොස් තිබීම හේතුවෙන් එම සිරුරු ට්‍රොලි මත තබා ඒවා නරක් නොවී කල් තබා ගැනීමට සිරුරු මතින් අයිස් දමා තිබීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුව තිබිණි. 

මෙලෙස අයිස් දැමූ මෘත ශරීර තුනක් මෘතශරීරාගාරයෙන් පිටත කොරිඩෝවේ තබා තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තංගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එරංග ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා පවසා ඇත්තේ මෙවැන්නකි.

“මෘත ශරීර තැන්පත් කරන්න ඉඩ පහසුකම් මදි වුණාම අයිස් දානවා. එහෙමත් හොයාගන්න බැරි වෙලාවට මෘත ශරීර නිකන්ම දාලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒවා නරක්වෙන්න බලනවා. මේ අයගේ ඥාතීන්ගෙන් අපට වගේම වෛද්‍යවරුන්ටත් බැනුම් අහන්න වෙනවා. බලධාරින් මේ ගැන අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලනවා…”

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි ද තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරය නිරීක්ෂණයට පැමිණ සිටියේය. හෙතෙම පැවසූවේ “කටුවන ප්‍රාදේශීය සභාවේ අපේ මන්ත්‍රි කෙනකුගේ පුතෙක් නැතිවෙලා වලස්මුල්ල රෝහලෙන් තංගල්ලට එවලා තිබුණා. කූල් රූම් එකේ ඉඩ නෑ කියලා අයිස් ගේන්න කියල තිබුණා. ඊයේ (12 වැනිදා) රෑ මම කුඩාවැල්ලෙන් අයිස් ගෙනත් මරණෙට අයිස් ගහන්න දුන්නා. බොඩීස් හයක් දාන්න පුළුවන් කූල් රූම් එකේ දැන් නිකන් බඩු පුරවලා. ඒක කැඩිලාලු.”

තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේගෙන් කළ විමසීමේදී ඇය පැවසූවේ ශීතාගාර ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here