ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් සිසුන්ට හාවර්ඩ් සරසවියේ දොර වසයි

0
4


අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් ඇතුළත් කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලබන විදෙස් රටවල සිසුන් පැය 72ක් ඇතුළත වෙනත් විශ්වවිද්‍යාලවලට මාරු කරන ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට නියෝග කර ඇත්තේ. 

එසේ නොවුනහොත් එම සිසුන්ට නිකුත් කර ඇති වීසා අවලංගු විය හැකි බවටද ට්‍රම්ප් පරිපාලනය අනතුරු අඟවා තිබෙනවා. 

එමෙන්ම හාවර්ඩ් විශ්වවිද්‍යාලවට විදෙස් රටවල සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව නැවත ලබා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලය ඉල්ලීම් ලැයිස්තුවකට අනුකූල විය යුතු බවද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.  

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය එරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි ව්‍යාකූලත්වයක් ඇති කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

හාවර්ඩ් විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය නීති විරෝධී ක්‍රියාමාර්ගයක් බවයි. 

අමෙරිකාවේ පැරණිතම විශ්වවිද්‍යාලය මෙන්ම ලොව කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සිසුන් 6,700ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඒ අතරින් සියයට 27ක් විදෙස් රටවල සිසුන් බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

ලොව රටවල් 140ක සිසුන් ඒ අතරට අයත්. 

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති එම තීරණය විදේශීය සිසුන් දහස් ගණනකට බලපෑම් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.       
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here