‘ඩිජිටල් නෝමඩ් වීසා’ (Digital Nomad Visa) නිල වශයෙන් හඳුන්වා දෙයි

0
3

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ මෙරට ජාත්‍යන්තර දුරස්ථ රැකියා (Remote Work) ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදේශීය වෘත්තිකයින් සඳහා වන නව ‘ඩිජිටල් නෝමඩ් වීසා’ (Digital Nomad Visa – DNV) කාණ්ඩය පිළිබඳ විස්තර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙමගින් විදේශීය සමාගම් හෝ සේවාදායකයින් සඳහා ශ්‍රී ලංකාවේ සිට දුරස්ථව සේවය කරන වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට මෙරට දිගුකාලීනව රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.

අයැදුම් කිරීමේ සුදුසුකම්:

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම විදේශිකයෙකුට මෙන්ම ඔවුන්ගේ කාලාත්‍රයාට සහ යැපෙන්නන්ට මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකිය.

අයදුම්කරු ශ්‍රී ලංකාවෙන් බැහැරව ලියාපදිංචි ව්‍යාපාරයක හෝ රැකියාවක නිරත විය යුතු අතර, පහත මූල්‍ය අවශ්‍යතා සපුරාලිය යුතුය:

* ප්‍රධාන අයදුම්කරු මාසිකව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 2,000 ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට එවිය යුතුය.

* යැපෙන්නන් සංඛ්‍යාව දෙදෙනෙකුට වඩා වැඩි වන්නේ නම්, එක් එක් අමතර අයෙකු සඳහා මාසිකව තවත් ඩොලර් 500 බැගින් මෙරටට එවීම අනිවාර්ය වේ.

අවශ්‍ය ලේඛන සහ ගාස්තු:

අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී පොලිස් නිෂ්කාශන වාර්තා, ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නිර්දේශය ඇතුළු ලේඛන ඉදිරිපත් කළ යුතුය.

වසරක කාලසීමාවක් සඳහා වලංගු වන මෙම වීසා බලපත්‍රය සඳහා එක් අයෙකුගෙන් අය කෙරෙන වාර්ෂික ගාස්තුව අමෙරිකානු ඩොලර් 500කි. වසරකින් පසු වීසා බලපත්‍රය අලුත් කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලියාපදිංචිය (Tax Registration) අනිවාර්ය කර ඇත.

හිමිවන ප්‍රතිලාභ සහ වැදගත් කොන්දේසි:

මෙම වීසා ලාභීන්ට මෙරට බැංකු ගිණුම් පවත්වාගෙන යාමට, දේපළ කුලියට ගැනීමට සහ තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමට වරප්‍රසාද හිමිවේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ දේශීය රැකියාවල නිරත වීම මෙම වීසා කාණ්ඩය යටතේ සපුරා තහනම් වන අතර, සියලුම ආදායම් විදේශීය මූලාශ්‍රවලින් උපයා ගත යුතුය. එමෙන්ම ඕනෑම ආකාරයක දේශපාලන ක්‍රියාකාරකමකට සම්බන්ධ වීමද තහනම් වේ.

වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබා ගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here