ටයිකෝට් ඇදගෙන ජාතික මට්ටමින් කළ හොරකම්, ප්‍රාදේශීය සභා මට්ටමින් අමු අමුවෙි කළා… ආයේ එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ… අගමැති ආචාර්ය හරිනි අමරසූරිය…

0
6


ටයිකෝට් ඇදගෙන ජාතික මට්ටමින් කළ හොරකම් ප්‍රාදේශිය සභා මට්ටමින් එළිපිට සිදුකළ බවත් ඉදිරියට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
හොරණ සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“දැන් ජනාධිපති ධූරයත් තියෙනවා, පාර්ලිමේන්තුවේ දැවැන්ත බලයක් තියෙනවා, තව මොනවද ඕන රට හදන්නේ කියලා ඔබට හිතෙනවා ඇති.
හැබැයි ඔබ සියලු දෙනාම පිළිගන්නවා ඇති ප්‍රාදේශීය සභාවකින් විය යුතු වැඩක් තියෙනවා. කළ යුතු සේවාවක් තියනවා.
ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පවතින්නේ තමන් පත් කරගත්ත මහජන නියෝජිතයින් හරහා සිද්ධවෙන වැඩ තුළින්, ගමට සමීපතම නියෝජිතයා ප්‍රාදේශීය සභාවේ තමයි ඉන්නේ. ඔබේ එදිනෙදා ජීවිතය පහසු කරන බොහෝ කටයුතුවලට වගකියන්න ඕනේ ප්‍රාදේශීය සභාව.
ජාතික මට්ටමින් ටයිකෝට් ඇදගෙන හොරකම් කළා. පලාත්පාලන ආයතන ටයි කෝට් නොමැතිව අමු අමුවේ හොරකම් කළා.ඒකනේ මෙතෙක් සිද්ධ වුණේ. ප්‍රාදේශීය සභා කියන ඒවා මිනිස්සුන්ට සත පහකට වැඩක් වුනේ නැහැ. ඒක තමා ඇත්ත කතාව. යළි එහෙම වෙන්න අපි ඉඩතියන්නේ නැහැ.
දරුවෙක් පිළිසිඳ ගත්ත මොහොතේ සිටම ප්‍රාදේශීය සභාවට වැඩ තියෙනවා, මාතෘ සායන පවත්වන්න ඕන, දරුවා එන්නත් කරන්න ඕන, ඉපදුණායින් පස්සේ දරුවන්ගේ සෞඛ්‍යයට වග කියන්න ඕන, මව්වරුන්ගේ සෞඛ්‍යයට වග කියන්න ඕන, දරුවන්ගේ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයට වග කියන්න ඕන. පෙර පාසැල් දිවාසුරුකුම් පවත්වාගෙන යන්න ඕන, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, දරුවන්ට අවශ්‍ය ගමේ සේවාවන් පුස්තකාල, රංගශාලා, තරුණ සංගම්, තරුණ සමිති, තරුණ තරුණියන්ට සෞඛ්‍ය වර්ධනය, අමතර පන්ති පැවැත්වීම කරන්න ඕන.
වැඩිහිටියන්, කාන්තාවන්, ව්‍යවසායකයින් වෙනුවෙන් කරන්න වැඩකොටසක් තියනවා. අන්තිමට සොහොනට යනකොට ඒකත් ගෞරවාන්විත විදිහට යන්න පුලුවන් විදිහට හදන ඒකත් ප්‍රාදේශීය සභාවේ වගකීම.”
මේ සියල්ලට මැදිහත් වෙන්න ප්‍රාදේශීය සභාවට විශාල බලයක් ඇති බවත්, එළඹෙණ මැයි හය වන දින හොරුන්ගෙන් ප්‍රාදේශිය සභාව බේරා ගැනීමට ඉදිරියට එන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් අබේසිංහ, ඔෂානි උමංගා, නන්දන පද්ම කුමාර ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here