වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය අද (05) උදෑසන හැනෝයි හි ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.
එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම ජනාධිපති ලුඕං කුඕං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මෙම සාකච්ඡා සඳහා දෙරටේම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්ව තිබෙනවා.
නව ජනාධිපතිවරයා සහ රජය රට මෙහෙයවීමට පටන් ගත් දා සිට ශ්‍රී ලංකාව ලබා ඇති වැදගත් සමාජ ආර්ථික ජයග්‍රහණ, විශේෂයෙන් අර්බුදයෙන් ගොඩ ඒම, ධනාත්මක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම පිළිබඳව වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළකර තිබෙනවා.
එමෙන්ම අනාගතයේදී සංවර්ධන ඉලක්ක සාර්ථකව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දුෂ්කරතා ජය ගනු ඇතැයි තමා විශ්වාසය පළකරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇති බව සඳහන්.
ජාතික නිදහස සඳහා වූ අතීත අරගලයේදී වියට්නාමයට සහාය වීම සහ ජාතික ඉදිකිරීම් ක්‍රියාවලියේදී වියට්නාමය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති කුඕං ශ්‍රී ලංකාවට ස්තූතිය පළකර සිටියා.
ශ්‍රී ලංකාවේ නායකයින් සහ ජනතාව සැමවිටම වියට්නාමය සහ ජනාධිපති හෝ චි මිං කෙරෙහි උණුසුම් හැඟීම් රඳවා තබා ගන්නා බවත්, යුද්ධවලදී මෙන්ම මව්බිම ගොඩනැගීමේදී වියට්නාමයේ නොසැලෙන ශක්තිය අගය කරන බවත්, වියට්නාමයේ සංවර්ධන අත්දැකීම් ඉගැනීමට කැමති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා ඇත්තේ.
Saru FM Media