ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි

0
5


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය “මිහිඳු සෙත් මැදුර” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලුවා. 

එම සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
 

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් – දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බවයි අවධාරණය කළේ. 

අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා එහිසී සඳහන් කළා.
 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “මිහිඳු සෙත් මැදුර” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟ ද එහිදී අදහස් හුවමාරු කර ගත්තා. 

සෙබළුන්  වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
 

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බි්‍රගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර දශක තුනකට අධික කාලයක් පුරා මෙරට වෙළාගෙන පැවති කුරුරි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදීයි.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here