ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
අද (05) එම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමත්‍යාංශ පවසයි.
මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවය.
ගුජරාට ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතාව විදහා දක්වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවේ අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීම සඳහා ගුජරාට ප්‍රාන්ත රජය ලබා දුන් දායකත්වයට සිය ස්තූතිය පළ කළ අතර, එය ශ්‍රී ලංකාව සහ ගුජරාටය අතර පවතින දිර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී, ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාටය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.
ඒ අනුව, අමුල් (Amul) සහ ටාටා (Tata) වැනි ගුජරාටයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ පවතින කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ බෞද්ධ ජනතාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සහ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන අවස්ථා පිළිබඳව ද මෙහිදී සුබවාදී එකඟතාවන්ට එළඹ තිබේ
Saru News









