රටේ බරපතළ ගෑස් හිඟයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය
එයට හැකි ඉක්මනින් විසඳුමක් දෙන්නැයි පාරිභෝගිකයන් වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේ කියා සිටී.
“ලාෆ්ස් බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා. ගෑස් හිගය මැඩ පවත්වන්න ගෑස් වැඩිපුර බෙදා හරින්න කටයුතු කරලා තියෙනවා. ඉරිදා අඟහරුවාදා තව නැව් එනවා.
ලාෆ්ස් සමාගමට නිසි දැනුම්දීම් කරලා තියෙනවා. වහාම ගෑස් ගෙනල්ල බෙදා හරින්න කියලා. කලබලය නිසා ඉල්ලුම වැඩි වෙලා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. වෙළඳපොලේ ගෑස් හිගයක් නෑ. පාරිභෝගිකයා රවටන්න එපා. ඉක්මනට ගෑස් ගෙනල්ලා බෙදන්න. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කහ පාට ගෑස් පාවිච්චි කරන අයට.
ගෑස් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්ති මවන පිරිසක් ඉන්නවා. කිසිසේත්ම ගෑස් හිඟයක් ඇතිවන්න ඉඩ තියන්නේ නෑ.“
හිඟයට හේතුව –
මේ අතර, වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලාෆ් සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.
එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි.
මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.
Saru News








