
කුරුණෑගල ගල්ගමුව, පාළුකඩවල වැවේ දිය නෑමට ගොස් 13 වැනිදා පෙරවරුවේදී මිය ගිය 13 වියැති හා 17 වියැති දියණියන් දෙදෙනාගේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ගල්ගමුව හදිසි මරණ පරීක්ෂක පී.එච්.එස්. රණවීර මහතා දැඩි කනගාටුව පළ කරමින් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල හා වගකීම් විරහිත ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය.
ගල්ගමුව මූලික රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රණවීර මහතා පැවසුවේ, “යමක් වූවාට පසු හඬා වැටෙන්නේ, ළතවෙන්නේ, විඳවන්නේ තමන්ගේම නොසැලකිල්ලෙන් හා වැඩිහිටියන්ගේ වරදින්” බවයි.
මෙම අවාසනාවන්ත සිදුවීමේ ගොදුරු බවට පත්වූයේ මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එල්. පී. දිනුලි අමංසා සහ රත්නපුර, දොළුවාවල ප්‍රදේශයේ පදිංචිව සිටි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි එල්.ජී. චතුනී ඉමංෂා යන දෙදෙනායි.
රණවීර මහතා පැවසූ පරිදි, මෙම දරුවන් පවුලේ සාමාජිකයන් සමඟ එම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීට පෙර මිය ගිය පවුලේ ඥාතියෙකුට පින් පෙත් පතා වෙසක් පෝය දිනයේදී දන්සලක් පැවැත්වීමේ අරමුණෙනි. එහෙත්, මෙම පින්කම සඳහා පැමිණි ගමනේදී මෙම තරුණ දියණියන් දෙදෙනා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් ලෙස ඔහු අවධාරණය කළේය.
මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ, “අරමුණ පින්කම නම් අවසානයේ දිය නෑම,
ජල ක්‍රීඩා කිරීමට යෑම සඳහා මේ අයට වැඩිහිටියන් අවසර දිය යුතුද?” යන්නයි. ඔහු පෙන්වා දුන්නේ මෙම දරුවන් වැව්වල නෑමට හෝ පීනීමට දැනුමක් නොතිබූ බවත්, එවැනි අවදානම් සහිත හා නාඳුනන ප්‍රදේශයකට යාමට පෙර මෙම කරුණු පිළිබඳව සිතා බැලුවා නම් මෙවැනි සිදුවීමක් වළක්වා ගත හැකිව තිබූ බවත්ය.
ඔහු අවධාරණය කළේ මෙම වැවේ මීට පෙරද ගිලීම් සිදුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව මතකයන් වැඩිහිටියන්ට තිබිය යුතු බවත්, ඔවුන් වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබූ බවත්ය. එපමණක් නොව, වැව භාරව කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් අවදානම් සහිත ස්ථානවල දැන්වීම් පුවරු පවා සවි කර නොතිබීම පිළිබඳවද ඔහු තම කනගාටුව පළ කළේය. මේ අනුව, මෙවැනි මරණවලට ඒ අයද වගකිව යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
රණවීර මහතා තම ප්‍රකාශය තවදුරටත් පුළුල් කරමින් ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු පිළිබඳවද අදහස් දැක්වීය. ඔහු ප්‍රකාශ කළේ, “මේ පැත්තේ වැඩියෙන්ම රිය අනතුරු සිදු වන්නේද පිටතින් එන අයයි” බවත්, ප්‍රදේශය, මාර්ගය හා මාරක වංගු පිළිබඳව නිසි අවබෝධයකින් තොරව අධික වේගයෙන් වාහන පැදවීමෙන් වැළකී සිටින ලෙසත්,
මෙවැනි නොසැලකිලිමත් ක්‍රියා හේතුවෙන් අවසානයේ දුක් විඳීමට සිදුවන්නේ තමන්ටම බවත්ය.
අවසාන වශයෙන්, හදිසි මරණ පරීක්ෂකවරයා වෙසක් උත්සවය පිළිබඳ අද කාලයේ තරුණ පරපුරේ ආකල්පද විවේචනය කළේය. ඔහු පැවසුවේ, “වෙසක් යනු අද තරුණ පරපුරට කිසිදු වැටහීමක් නෑ. ඔවුන්ට වෙසක් දාට ඇත්තේ යතුරුපැදි මේනියාවක්.” බව පෙන්වා දෙමින්, මොටර් සයිකල්වල පැති කණ්ණාඩි ඉවත් කිරීම, නළාවලට විවිධ නාද රටා එක් කිරීම, කර්ණ වේදනාකාරී ශබ්ද නිපදවීම, දන්සල් දකින විට පාර දෙපසම වාහන නවතා තදබදයක් ඇති කිරීම ආදිය ඔවුන්ගේ ක්‍රියාකාරකම් වන බව පැවසීය.
ඔහු තම ප්‍රකාශය අවසන් කළේ, “පුදුමේ කියන්නේ මේ එක වැරැද්දක්වත් රථ වාහන රාජකාරී කරන පොලිසියේ අයට පවා නොපෙනීමයි” යන්න සඳහන් කරමිනි.
මෙම සිදුවීම රටේ බොහෝ දෙමාපියන්ට හා වැඩිහිටියන්ට තම වගකීම් පිළිබඳව නැවත සිතා බැලීමට අවස්ථාවක් සපයන අතර, වැව් හා ජලාශ ආශ්‍රිත ආරක්ෂාව පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම ප්‍රදේශයේ අදාළ බලධාරීන්ගේ වගකීම් පිළිබඳවද ප්‍රබල අවවාදයක් ලෙස සැලකිය හැකිය.



Saru FM Media