ගල්කිස්ස පොලිස් වසමේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලීසිය පැවසුවා.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ දෙහිවල, ඕබන් පෙදෙසේ පදිංචිව සිටි තරුණයෙක්.
ඔහු දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ සුළු සේවකයෙකු ලෙස සේවය කළ අයෙක්.
අද උදෑසන 06.36ට පමණ ගල්කිස්ස, සිල්වෙස්ටර් පාර අතුගාමින් සිටින අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඔහුට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ එම තරුණයා දිවි බේරා ගැනීම සඳහා එම ස්ථානයෙන් දිවගොස් තිබෙනවා.
ඔහු ගාලු පාර හරහා දිවගොස් ගල්කිස්ස වෙරළ පාරට හැරෙන හන්දිය ආසන්නයට දිව යන අවස්ථාවේ ඔහු පසුපස ලුහුබැඳ ගිය වෙඩික්කරු තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනා අදාළ තරුණයා පසුපස ලුහුබඳින ආකාරය සීසීටීවී කැමරාවල ද පටිගතව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා “කොස් මල්ලි” නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවයි පැවසෙන්නේ.
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් වෙඩි තැබීමට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.
මෙම සිද්ධියේ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.
Saru FM Media