දරුගැබක් පිලිසිඳ ගත් දිනයේ පටන් සමාජය ඒ ගැබණි මවට සලකනු ලැබුවේ ඉතාම ගරුත්වයෙන්. ආහාරපාන පමණක් නොව දකින දසුන, ඇසෙන වචන පවා ඉතාම ප්‍රියවාදී ලෙසින් ඇයට ඇසෙන්න දකින්න සැලසුවා. ඔවුන් ඒ හැම දෙයක්ම කරනු ලැබුවේ ගැබේ ඉන්න දරුවාට යහපතක්ම වේවා යන අදහසින්.පැරණි සමාජය බඩදරු අම්මා රැකගත යුත්තේ දෙවියෙකුට සමානව බව පැරණි සෘෂි භාෂිතයේ පවා සඳහන්ව තිබෙනවා.
ඒත් අද තත්වය ඊට වෙනස්. ගැබ්ගත් දිනයේ පටන් නාරි සහ ප්‍රසව වෛද්‍යවරුන්ගේ අවවාද උපදෙස් ලැබුවත් මානසිකත්වයෙන් ගැබිණිමවට අද එතරම් සැනසිල්ලක් නැහැ. ඒ තත්වය ඉතාම ප්‍රබල විදිහට දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. අනාගතයේ අකීකරු දරුවන් බිහිවීමටත් මේ තත්වය හේතු වෙන බව අද මනෝ වෛද්‍යවිද්‍යාඥයින්ගේ පිලිගැනීමයි. ඒ නිසා සුවච කීකරු දරුවෙක් ගොඩ නගා ගැනීමට නම් ගැබ් දරණ කාලයේ පටන්ම මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.
පින්ලන්තයේ පර්යේෂකයන් පවා අද මේ තත්වය පිලිගෙන තිබෙනවා.(Daily Mail) සෙනෙහස, මානව දයාව සහ ආදරය වැනි රිද්මානුකූල වචන නිසා දරු කලලලයට ඇති වෙන බලපෑම මුල් කර ගෙන ඔවුන් අධ්‍යනයක් කරනු ලැබුවා. එහිදී තෝරාගත් ගැබිණි මව්වරුන් 33 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ගෙන් 17 දෙනෙකුට දිනකට විනාඩි හතර බැගින් රිද්මානුකූල වචන ඇසෙන්න සැලස්සුවා. සෙසු 16 දෙනා ට එම අවස්ථාව ලබා දුන්නේ නැහැ.සති 29 ක කාලයේ පටන් දරු ප්‍රසුතිය සිද්ධ වෙන තෙක්ම මේ කාර්යය සිද්ධ වුණා.මේ අම්මලා 17 දෙනාගේ දරුවන් ලද පසුව ඔවුන්ගේ දරුවන්ගේ ඊ.සී.ජී වාර්තාවන් ලබා ගත්තා. එහිදි පෙනී ගියේ රිද්මානුකූල වචන ඇසීමට සලසන ලද මව්වරුන්ගේ දරුවන්ගේ ප්‍රතිචාර එම අවස්ථාවට සම්බන්ධ නොවුන මව්වරුන් 16 දොට වඩා ඉතාම යහපත් ලෙස තිබීම පැහැදිලිව පෙනී ගියා. මෙම අධ්‍යනයේ ප්‍රධාණී “අයිෆෝ පර්ටන්” විසින් පෙන්වා දෙන්නේ මවගේ සිතුවිලි වගේම බාහිර ලෝකයෙන් ලැබෙන බලපෑම දරුවාගේ හැඩගැස්ම වෙනුවෙන් ඉතාම සුබවාදීව බලපාන බවයි.
මේ නිසා ජපානය වැනි රටවල් විසින් දරු කලලයට අමතන භාෂාව වෙනුවෙන් පොත් පවා දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බටහිර රටවල මව්වරුන් තමා නිදා ගන්නා විට ලයාන්විත සංගීතයක් ඇසෙන්න සලස්වනවා. එය අම්මාට විතරක් නොවෙයි..කුස සිටින දරුවාටත් ඇසෙනවා.
මෙම අදහස පැරණි සෘෂිවරුන්විසින් සඳහන් කරන මවක් සහ පියෙක් තම දරුවන්ගේ හැසිරීම ගැන අවධානය යොමු කළ යුත්තේ දරු කලලය මව්කුසේ දරන කාලයේ පටන්ය…යන නාඩි වාක්‍ය සමග කොතරම් ගැලපෙනවාදැයි දැන් ඔබම තීන්දු කරන්න.
කලලයට හොදින් සැලකුවාටමත් බැහැ. දරුවා ලැබීමෙන් පසුවත් ඔහු සමග ගත කරන කාලය සහ බැඳීමත් සුවච කීකරු දරුවෙක් නිර්මානය කර ගැනීමට හේතු වෙනවා.
බොහෝ දරුවන් අකීකරු වීමට බලපාන තවත් හේතුවක් විදිහට ඔවුන් බාලකාලයේ ලබන අමිහිරි අත්දැකීම් පදනම් විය හැකියි. මේ නිසා පවුලක මව්පියන් දරුවන් ඉදිරියේ ලබා දෙන සහනශීලී මානසිකත්වය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් හිතකර පරිසරයක් ගොඩ නගනවා. බාල කාලයේ පටන් දරුවා දකින්නේ බීමතින් නිවසට ගෙට ගොඩ වදින තමන්ගේ පියා නම් ඔහු වැඩිහිටි වයසට පැමිනෙන විට පියාගේ අවවාද වෙනුවෙන් එතරම් සැලකීමක් කරන්නේ නැහැ. ඊට හේතුව ඔහු බාලකාලයේදී දුටු පියා ගැන හිතේ තිබෙන්නේ ප්‍රසන්න සංකල්පයක් නොවේ.
බොහෝ මව්පියන්ට අද තිබෙන එකම ගැටළුව දරුවන් සමග කාලය ගෙවීමට අවසරයක් නොමැති වීමයි. කාර්යාලයේ වැඩ…ගෙදර දොර උයන පිහන , අස්කරන මේවාගේ දහසක් වැඩ ඔස්සේ දරුවන් එක්කත් ගෙවන්න කාලයක් කෝ…අපිට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ..ඔබ මේ විදිහට කිව්වත් කාලය සමග දරුවන්ට තමන් හුදෙකලා බවට පත් කළ දෙමව්පියන් මුල් කර ගෙන ඇති වෙන කලකිරීම නිසාම ඔවුන් ඉතාම අකීකරු තත්වයට පත් වෙනවා. ඔයගොල්ලන් අපිට මොනවද කළේ…යනුවෙන් ප්‍රශ්න කිරීමට තරම් දරුවන් ඉතාම අකීකරු චරිත බවට පත් වෙන්නේ මේ නිසා බව අමතක කරන්න එපා.
එදා පවුලේ සියළුම අදහස් උදහස් වෙනුවෙන් විවෘත වේදිකාව බවට පත් වුනේ කෑම මේසය වුනත් අද ඒ වෙනුවෙන් කිසිම අවසරයක් නැහැ. සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් සමග මව්පියන් එකට ආහාර ගැනීම ඉතාම වැදගත්. මේ සංවාද මණ්ඩපය නොදැනීම අපේ නිවෙස්වලින් දුරස්ථ වීම නිසා ඇති වුන හිදැස ඔවුන්ටත් නොදැනීම පිටව යන්නේ තමන්ගේම හදා වඩා ගත් දරුවන් අකීකරු වීමත් සමගයි.
අද මව්පියන් තමන්ගේ දරුවන් හදා වඩා ගන්නේ ඔවුන්ට වඩා ඉහලින් සමාජයේ තැනකට පත් කරන අදහසින්. එහි කිසිම වරදක් නැහැ. විය යුත්තේද එයයි. ඒ වුනත් මේ මානසිකත්වය තුළ තමා සමග ජීවත්වුන සහ ජීවත්වෙන සමාජය නිගරු ලෙසින් සැලකිය යුතු නැහැ. අද බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙන්නේ අතීතයේ තමන් ජීවත්වුන සත්‍ය පරිසරය වසං කිරීමටයි. ඒ නිසාම නෑයින්, හිතමිතුරන් ගැන කිසිම සැලකීමක් නැහැ. අලුතින් ගොඩ නගා ගත් පරිසරයක ජීවත් වෙන විට දරුවන්ට තුළ තිබෙන්නේ හිස් අහංකාරයක් පමණයි. ඒ නිසාම කීකරු යන සංකල්පය ගැන හදවතේ ඉඩක් නැති නිසා ගැටුම් සහ අකීකරුවීම අමුතුවෙන් ඇති වෙන පරිසරයක් නොවේ.
දරුවන් තුළ කීකරුබව ගොඩ නගා ගැනීමට නම් දෙමව්පියන් තුළත් ඒ ආදර්ශය තිබීම ඉතා වැදගත්. තමන්ගේ දෙමව්පියන් බලුකූඩුවේ දමන, මහමග අතහැර දමා යන තත්වයක සිට තමන්ගේ දරුවන්ගෙන් කීකරුකමක් බලාපොරොත්තු වීමට බැහැ. මේ නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට දරුවන්ගේ කීකරුබව ගොඩ නගා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ.
Saru FM Media