කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන් ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාලය දිගු වෙයි

0
3

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු ලබා ගැනීමේ කාලය මාර්තු 16 වනදා දක්වා දීර්ඝ කර ඇත.

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා මහජන පැමිණිලි සහ තොරතුරු ලබා ගැනීමේ කාලය මෙලෙස දක්වා දීර්ඝ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත “අංක 152, ගාලු පාර, කොළඹ 03” ලිපිනයට යොමු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතු වේ.

තවද ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකිය.

කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතනවලට හෝ පුද්ගලයන්ට, 011 2 301 735 යන දුරකථන අංකය ඇමතීමෙන් 2026 මාර්තු මස 16 වන දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කරවා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here