Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කොටහේන දැරිය මියයාම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

කොටහේන දැරිය මියයාම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

0
3


a-special-press-release-from-the-national-child-protection-authority-regarding-death-of-kotahena-girl

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත්වන මහලෙන් පැන වයස අවුරුදු 16ක පමණ දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිර යන සාකච්ඡා හා විවේචන සමඟ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි.

ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන පරිදි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14(උ), (උ.), (ඉ) වගන්ති සහ 24 සහ 37 වගන්ති ප්‍රකාරව කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථාන වලින් නියාමන වාර්තා කැඳවා ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විශේෂයෙන් නිරීක්ෂණය කරනු ලබන්නේ පාසල් තුළ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් නොදීමට විවිධ හේතු පවතින බවයි.
පාසල්වල කීර්ති නාමය ආරක්ෂා කිරීමේ අරමුණින් හෝ පැමිණිලිකාර පාර්ශවයන් අධෛර්යට පත් කිරීම වැනි කරුණු නිසා පාසල් තුළ ළමයින්ට සිදුවන ශාරීරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධ තොරතුරු යටපත් කිරීමේ ප්‍රවණතාවක් පවතින බව අධිකාරිය පෙන්වා දෙයි.


මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එමඟින් පාසල් තුළ ළමා අපයෝජන වාර්තා වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කර ඇත.
එම උපදෙස්වලට අනුව, යම් ළමා අපයෝජන සිද්ධියක් පාසලක වාර්තා වූ වහාම, විදුහල්පති හෝ වගකිව යුතු පාර්ශවයක් විසින් පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවය මඟින්, [email protected] විද්‍යුත් ලිපිනය හරහා හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනය ඔස්සේ වාර්තා කිරීම අනිවාර්ය කර ඇත.


තවද, ළමා අපයෝජනයක සැකකරුවන් ලෙස චෝදනා ලබන විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තවදුරටත් ළමයින් සමඟ කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී ඇත.
අධිකාරිය විසින් නිකුත් කරන ලද තවත් වැදගත් උපදෙසක් වන්නේ විනය පරීක්ෂණ පවත්වන අවස්ථාවලදී වින්දිත ළමයින් තවදුරටත් පීඩාවට පත් නොවන ආකාරයට එම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. මීට අමතරව, ළමා අපයෝජනවල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට, පැමිණිලිකාර ළමයින් පාසලෙන් ඉවත් කිරීම, ඔවුන්ට බලපෑම් සිදු කිරීම, කොන් කිරීම හෝ ලේබල් කිරීම වැනි අගතිගාමී ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.
නිවේදනය අවසානයේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ළමයින්ට සිදුවන අපයෝජන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු නොසඟවා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කඩිනමින් වාර්තා කිරීමේ අත්‍යවශ්‍යතාවය අවධාරණය කරයි.


gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here