කෙහෙළියගේ පුතා රෝහලෙන් බන්ධනාගාරයට රැගෙන ආ හේතුව

0
4


වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල යළි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. 

ඒ අනුව ඔහු එම බන්ධනාගාරයේ එම් වාට්ටුවේ යළි රැඳවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.   

රමිත රඹුක්වැල්ල පසුගිය 21 වනදා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබුවා. ඔහු බන්ධනාගාරය වෙත පැමිණ ඇත්තේ වෛද්‍ය උපකරණයක් ද රැගෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

ඒ තමන් රාත්‍රී කාලයේදී ස්වසන අපහසුතාවලට ලක්වන අවස්ථාවලදී එම උපකරණය භාවිත කිරීමට අවශ්‍ය බව පවසමින්. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රමිත රඹුක්වැල්ල වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර තිබෙනවා. එහිදී නිර්දේශ කර ඇත්තේ ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ යුතු බවයි. 

ඒ, ස්වසන අපහසුතාවලට ලක් වන අවස්ථාවලදී රමිත රඹුක්වැල්ලට අදාළ උපකරණය භාවිත කිරීමට අවශ්‍ය බව පවසමින්. 

කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ අදාළ උපකරණය භාවිත කිරීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා ඇති වාට්ටුවේ ඊට අදාළ පහසුකම් ලබා දිය හැකි බවයි. 
ඒ අනුව ඔහු යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් ටූ වාට්ටුවට මාරු කර තිබෙනවා. 

රමිත රඹුක්වැල්ලට අදාළ උපකරණය භාවිත කිරීමට අවස්ථාව සලසා ඇති බවත් ඊට අමතරව කිසිදු විශේෂ පහසුකමක් ඔහුට බන්ධනාගාර වාට්ටුව තුළ ලබා දී නොමැති බවත් බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා. 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල පසුගිය 21 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි. 

ඉන් අනතුරුව රමිත රඹුක්වැල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථවේ නියෝග කළේ සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here