2015 ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කර ජී.අයි. බට මිල දී ගැනීමෙන් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට එරෙහි පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 18 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, අද (05) මහාධිකරණ අංක 2 හි දී එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරයා නොපැමිණීම හේතුවෙන් නඩුව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ බවයි.
ඒ අවස්ථාවේ දී නඩුව නැවත ලබන ජුලි 18 වැනි දින කැඳවන බව රෙජිස්ට්‍රාර්වරිය දැනුම්දුන්නා.
පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනිදා විත්තිකරුවන් හට චෝදනා කියවා දීමෙන් අනතුරුව නීතිපතිවරයා ගොනුකර ඇති චෝදනා 4ට ම නිවැරැදිකරුවන් බව විත්තිකරුවන් කියා සිටියා.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි කැඳවීමට නියම කළා.
ඒ අනුව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය අද (05) දින දක්වා කල් තැබීමට නියෝග මහාධිකරණ විනිසුරුවරයා පසුගිය නඩුවාරයේ දී නියෝග කළා.
2015 වසරේ සිට රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු මේ වන විට මේ නඩුවට සාක්ෂි ලබා දුන්නා.
2014 වසරේ නොවැම්බර් 25 වැනි දා හෝ ඊට ආසන්න දිනෙක ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් රූපවාහිනී සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක එහි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා යැයි කියමින් රුපියල් 9,90,000ක මුදලක් වැය කර රූපවාහිනී සංස්ථාවට ජී.අයි. පයිප්ප බට 600ක් මිල දී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට චෝදනා කර අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණා.
අල්ලස් හා දූෂණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා 4ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
අධිචෝදනා පත්‍රයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 26 දෙනකු හා ලේඛන 17ක් සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්වරු මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වනු ඇති.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවා.
Saru FM Media