ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම හා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදු කෙරුණා.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක මහතා, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අලි තාරික් මහතා සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (WCIC) සභාපතිනි ගයනි ද අල්විස් මහත්මිය විසින් කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදී පැවති උත්සවයකදීයි මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද්දේ.
ගිය වසරේදී (2024) කාර්මික සංවර්ධන මණ්ඩලය, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමඟ එක්ව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින්ට සහාය ලබාදීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළැඹි අතර ක්ෂුද්‍ර පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය මඟපෙන්වීම හා අමතර සහාය ලබාදීම අරමුණු කරගනිමින් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ද එම අවබෝධතා ගිවිසුම සමග අද දින එක්ව සිටියා.
මෙම වැඩසටහන මගින් මූල්‍ය සහයට අමතරව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම, තාක්ෂණික සහය, පුහුණුව, රැකියා උත්පාදනය, වෙළඳපළ අවස්ථා ලබා ගැනීම සඳහාද මඟ පෙන්වනු ලබනවා.
මෙම ගිවිසුමට අනුව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකත්වය නගා සිටුවීම අරමුණු කරගනිමින් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම අඛන්ඩව වසර තුනක් වාර්ෂිකව රුපියල් මිලියන 10 බැගින් රුපියල් මිලියන 30 ක් ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් 90 දෙනෙක් සඳහා ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
ගිය වසරේදී ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් 30 දෙනෙක් සඳහා රුපියල් මිලියන 10 ක් ප්‍රදානය කළ අතර, මෙම වසරේදී ව්‍යවසායකයින් 30 දෙනෙක් සඳහා තවත් රුපියල් මිලියන 10ක මූල්‍ය සහාය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහනේදී කාන්තා ව්‍යවසායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයයි.
බතික්, අත්යන්ත්‍ර රෙදි පිළි, පාවහන්, කුළුබඩු, ආහාර පාන වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අද දින ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායිකාවන් 12 දෙනෙක් හට මූල්‍ය ප්‍රදාන ලබා දී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ගයනි ද අල්විස්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ නිලධාරීන්, ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
Saru FM Media