කළු මුහුදේ රුසියානු – යුක්‍රේන ගැටුම් නතර කරයි

0
13


රුසියාව සහ යුක්‍රේනය කළු මුහුදේ නාවික සටන් විරාමයකට එකඟ වී ඇතැයි අමෙරිකාව පවසනවා.

ඒ, අමෙරිකාවේ මැදිහත් වීමෙන් සෞදි අරාබියේ පැවති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි.

ඊට අදාළ ගිවිසුම්වලට ද දෙපාර්ශවය වෙන වෙනම එකඟ වී ඇති බවයි අමෙරිකානු බලධාරින් පවසන්නේ.

එහෙත් ගිවිසුම බලාත්මක වීමට නියමිත දිනය ධවල මන්දිරය මෙතෙක් ප්‍රකාශ කර නැහැ. 

කෙසේවෙතත් රුසියාව පැවසුවේ තම ආහාර සහ පොහොර වෙළඳාමට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමෙන් පසුව පමණක් නාවික සටන් විරාමය බලාත්මක වනු ඇති බවයි.

අමෙරිකාව ඒ සියල්ල පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි සම්බාධක ඉවත් කිරීම පිළිබඳ විමසූ විට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

කෘෂිකාර්මික හා පොහොර අපනයන සඳහා ලෝක වෙළඳපොළට රුසියාවේ ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමට උදව් කරන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා. 

එහෙත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙය “තත්වයන් දුර්වල කිරීමක්” බවයි. රුසියාව සටන් විරාමය ප්‍රතික්ෂේප කළහොත් තවදුරටත් සම්බාධක පැනවීමට සහ එක්සත් ජනපදයෙන් වැඩි හමුදා සහයෝගයක් ලබා ගැනීමට යුක්‍රේනය කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.

එහෙත් ලෝක වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ගයක් වන කළු මුහුදේ නාවික සටන් විරාමය කල්පවත්නා සාමයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අමෙරිකාව පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here