කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

0
5

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) පස්වරුවේ නියෝග කළේය.

ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට ඊයේ පෙරවරුවේ පැමිණි ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

2012, 13 කාලසීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් 10 ක් මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිදුවූ දූෂිත ගනුදෙනුවකට අදාළව විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුවන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධවයි.

2012, 13 කාල සීමාවේ ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ යානා 13 ක් ඉවත්කර, ඒ වෙනුවෙනුවට අලුත්ම යානා 14 ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් විය.

එම යානා අතරින් A 330 යානා 6 ක් සහ A 350 යානා 4 ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කළේය.

මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ, 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙළිවීමත් සමගයි.

එයාර්බස් යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16 .84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දුවී තිබූ බව, විමර්ශනවලදී අනාවරණය විය.

එහිදී හෙලිවූයේ ශ්‍රී ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට, මෙම මුදලින් ඩොලර් මිලියන 2 ක් බැර කර ඇති බවයි.

විමර්ශන තොරතුරු අනුව බිරිඳට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා තිබිණි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙරට ගිණුම් දෙකකට ද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇති බවයි.

මේ අතර, මෙම ගනුදෙනුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කර තිබේ.

ඒ, ඔහුට අයත් බැංකු ගිණුමකට 2013 දී අමෙරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇතැයි අනාවරණ වීමත් සමගයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here