ඔසප් වන විට අධික වේදනාව රෝගී තත්වයක් ද?

0
15


ඔබට ඔසප් දිනවලට යම් වේදනාවක් දැනීමත් විවිධ අපහසුතා ඇතිවීමත් පුරුදු ඇති. නමුත් එය අධික වේදනාවක් නම් එය සාමාන්‍ය දෙයක් වන්නේ නැහැ. ඒ වේදනාව නිසා ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙනවා නම් හෝ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට සිදුවේ නම් ඔබ මේ ගැන අවධානයක් දිය යුතුයි. ඔසප් වීම නිසා ඇතිවෙන වේදනාව Dysmenorrhoea ලෙස වෛද්‍ය  විද්‍යාත්මක ව හඳුන්වන අතර මෙහි ප්‍රධාන ආකාර දෙකක් පවතිනවා.

ඔසප් වීම ආරම්භ වී වසර ගණනක් යන තෙක් ඇතැම් විට ඔසප්වීම වේදනාකාරී වෙන්න පුළුවන්. මෙවැනි වේදනාවක් ඇතිවෙන්නේ කිසිම රෝග තත්වයක් නිසා නොවෙයි. මේ වේදනාව කාලයත් සමග අඩු වෙනවා.නව යොවුන් දැරියකගේ ඔසප් වීම වේදනාකාරී නම් ඇයට එදිනෙදා වැඩකටයුතු හා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වේ නම් ප්‍රතිකාර මගින් මෙය පාලනය කල හැකියි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකි වේදනා නාශක වර්ග සහ හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් මෙම වේදනාවෙන් මිදීමට හැකියාව තිබෙනව.

මෙයට හේතුව ෆයිබ්‍රොයිඩ් ගෙඩි (Fibroids), ඇඩිනොමයොසිස් (Adenomyosis), එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) වැනි ගර්භාෂය සම්බන්ධ රෝගී තත්වයන්. සාමාන්‍ය ඔසප් තත්වයක් පැවතී එක්වරම ඔසප් වීම දැඩි වේදනාකාරී නම් ඔබ මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

ඔසප්වීමේදී ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය මසකට වරක් ගැලවී රුධිරය සමග ඉවත් වෙනවා. මෙම රුධිරය පිටතට පැමිණෙන්නේ ගැබ් ගෙලෙහි පවතින ඉතා කුඩා විවරයක් තුලින්. සමහර විට ගැබ් ගෙල අවහිර වීම නිසා වේදනාවක් ඇති කරන්න පුළුවන්. එමෙන්ම රුධිරය පිටතට පැමිණෙන විට ගර්භාෂය විටින් විට තද වීමකට ලක් වෙනව. මේ නිසයි වරින් වර ඔසප් වේදනාව වැඩි වෙන්නේ. මෙලෙස ගර්භාෂය ක්‍රියා කරන විට එහි ගෙඩියක් හෝ යම් කිසි අසාමාන්‍ය තත්වයක් තිබුණ හොත් ඔසප්වීමේදී අධික වේදනාවක් ඇති වෙන්න පුලුවන්.

ඔසප්වීම වේදනාකාරී නම් මීට හේතු වන රෝග තත්වයක් ඇති දැයි සොයා බැලිය යුතුයි. මේ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.

පරීක්ෂණ මගින් රෝගයක් හඳුනා නොගත් විට වේදනා නාශක ඖෂධයක් ඔසප්වීම පවතින කාල සීමාව තුළ ලබා ගැනීම කළ හැකියි.

ඔසප් වීම ඔබේ ජීවිතයේ කටයුතු අඩපණ කර ගැනීමට හේතුවක් වෙන්නේ නැහැ. ඔබට සාමාන්‍ය වේදනාවට වඩා වේදනාවක් දැනෙනවා නම් ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත් කිසිදු රෝගී තත්වයක් නොමැතිව එහෙත් වේදනාව දරා ගත නොහැකි බව දැනෙන මොහොතක වඩා ශක්තිමත් වීමෙනුත් ඔබට මේ දින කිහිපයට සාර්ථකව මුහුණ දිය හැකියි.

වටිනාම දේ ඔබ ශක්තිමත් වීමයි.

– නිබන්ධිකා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here