ඔසප් දිනවල සනීපාරක්ශක තුවා අඳින එක අපහසුද ?

0
10


මාසික ඔසප් දින කියන්නේ කාන්තාවක් වශයෙන් අපි වැඩි දෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙන පීඩාකාරී අත්දැකීමක්.

ශාරීරික අපහසුව වගේම හෝමෝන වල වෙනස්වීම් නිසා ඇතිවෙන මානසික අස්ථාවරබවත් මීට හේතුවක්. 

ඒ අතරින් අපි වැඩිදෙනෙක්ට ශාරීරික සහ මානසික වශයෙන් දැඩි පීඩාවක් ඇතිකරන කාරණාවක් ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ.

ඒ තමයි සනීපාරක්ෂක තුවා එහෙමත් නැත්නම් සැනිටරි පෑඩ් (sanitary pads) ගැන. 

වැඩිහිටි කාන්තාවන් වන අපිට ඔසප් දිනවලදී පළඳින්න ටැම්පොන් (tampon) සහ මෙන්ස්ට්‍රල් කප් (menstrual cup) වගේ විවිධ තෝරාගැනීම් තිබුණත් ශ්‍රී ලාංකීය සමාජය තුල විවිහා නොවුනු සහ පාසල් යන වයසේ ගැහැණු ළමයි බොහෝදෙනෙක් අපහසුවෙන් වුනත් සනීපාරක්ෂක තුවා පැළඳීම තෝරගන්න වෙලා තියෙන්නෙ විවාහයේදී මුහුණ දෙන්න සිදුවෙන සංස්කෘතික ගැටළු නිසාමයි. 

අනෙත් කාරණාව නම් විවිධ ගැටළු නිසා ටැම්පෝන් සහ මෙන්ස්ට්‍රල් කප් භාවිතා කරන්න අකමැති කාන්තාවන්ද අපි අතර සිටිනවා. 

ඉතිං මේ මොන හේතුව නිසා සනීපාරක්ෂක තුවා තෝරගත්තත් ඒ මඟින් ඇතිවෙන කැසීම්, තුවාල වීම් සහ විවිධ අපහසුතා වලින් තොරව හරි විදිහට සනීපාරක්ෂක තුවා භාවිතා කරන විදිහ ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. 

මේ කාගෙවත් උපදෙස් අරන් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.

මොකද අපේ සම එකිනෙකට වෙනස්. 

මුලින්ම ඔබ වෙළඳ සැලකට ගොස් එහි ඇති සනීපාරක්ෂක තුවාවල ස්වභාවය ගැන හරි අවබෝධයක් ලබාගන්න ඕන. 

විශේෂයෙන්ම ඔබට තියන්නෙ සංවේදී සමක් නම් කෘතිම ද්‍රව්‍ය එක්කර සෑදූ සනීපාරක්ෂක තුවා පැළඳීම ඔබට අපහසු වෙන්න පුළුවන් වගේම කැසීම් සහ තුවාල ඇති කරන්නත් පුළුවන්.

විවිධ වර්ණ සහ මුද්‍රිත මෝස්තර සහිත මතුපිටවල් ඇති සනීපාරක්ෂක තුවා මඟිනුත් ආසාදන ඇතිවෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳවත් ඔබ හොඳින් සැළකිලිමත් විය යුතුයි. 

ඒ නිසා සම්පූර්ණ කපු මතුපිටක් සහිතව නිපදවූ සනීපාරක්ෂක තුවා හොඳම විසඳුමක්. 

ඒ වගේම ඔබ වැඩිපුර රුධිරය පිටවෙන කෙනෙක් නම් වැඩි උරාගැනීමේ හැකියාවක් සහිත සනීපාරක්ෂක තුවායක් තෝරගන්න ඕන.

ඔබ දන්නවා පිහාටු (wings) ඇති සහ නැති ලෙස ආකාර දෙකකට සනීපාරක්ෂක තුවා තියෙනව කියල. 

නැවත භාවිතා කළ හැකි (reusable) සහ නොහැකි (disposable) ලෙස සනීපාරක්ෂක තුවා වර්ගත් තියෙනවා. 

ඔබට ඒ අතරිනුත් ඔබට පහසු තෝරාගැනීමක් කරන්න පුළුවන්.  

කලබල වෙන්න එපා ! සනීපාරක්ෂක තුවා වර්ග කීපයක් අත් හදා බැලීමෙන් පස්සෙ ඔබට ගැළපෙන ඔබට වැඩි අපහසුවක් ඇති නොකරන වර්ගයක් හොයාගන්න හරිම පහසුයි. 

සනීපාරක්ෂක තුවාය යට ඇඳුමේ අලවා ගැනීමේදී බොහෝවිට කකුල් දිගට ඇති යට කලිසම් වලට වඩා පෑන්ටි (panty) වර්ගයේ යට කලිසම් වඩා හොඳ බවයි සඳහන් කරන්න පුළුවන්. 

ඒ අතරිනුත් මැද කොටස පළල වැඩි වර්ගය වඩා සුදුසු වන්නෙ සනීපාරක්ෂක තුවාය ඒ මත හොඳින් සහ පහසුවෙන් අලවා ගන්න පුළුවන් නිසයි. 

පිහාටු සහිත සනීපාරක්ෂක තුවා පැළඳීමේදී නම් මේ කාර්‍යය ඉතාම පහසුයි. 

සනීපාරක්ෂක තුවායේ මැද ඔබේ යෝනි මාර්ගය (Vagina) තිබෙන ස්ථානයට පහළින් පැමිණිය යුතුයි. 

එවිට පිටවෙන රුධිරය සනීපාරක්ෂක තුවායෙන් පිටතට පැමිණීම සිදුවෙන්නෙ නෑ. 

සනීපාරක්ෂක තුවායක් පැය 08 කට වැඩිය පැළඳ සිටීම කිසිසේත්ම නිර්දේශ නොකරන ඔබේ සෞඛ්‍යට ඉතා අහිතකර පුරුද්දක්.

යෝනි මාර්ගය අවට ඊස්ට් ආසාදන ඇතිවීම, තුවාල සහ කැසීම් ඇතිවීම වගේම දුර්ගන්ධයක් හැමීම වගේ අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල මේ නිසා ඇතිවෙන්න පුළුවන්. 

ඒ නිසා පැය 04 ත් 08 ත් අතර කාලයකදී අලුත් සනීපාරක්ෂක තුවායකට මාරුවෙන්න ඔබට පුළුවන්.

ඔබේ රුධිර පිටවීම මත පැය 04 කට කලින් ඔබේ සනීපාරක්ෂක තුවාය පිරී යන්න පුළුවන්. ඒ නිසා පැය 01 ක් 02 ක් අතර කාලයේදී වරින් වර පරීක්ෂා කර බලන්න පුළුවන්. 

ඔබේ මුත්‍ර මාර්ගය ආශ්‍රිත බාහිර ප්‍රදේශය සබන් යොදා හොඳින් පිරිසිදු කර පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් හෝ ටිෂූ භාවිතයෙන් තෙත මාත්තු කර අලුත් සනීපාරක්ෂක තුවායක් මාරු කරගන්න ඔබට පුළුවන්. 

මුත්‍රා මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පිටුපස සිට ඉදිරියට පිරිසිදු කිරීමෙන් පිටුපස ප්‍රදේශයේ ගෑවී ඇති රුධිරය සහ බැක්ටීරියා, ඊස්ට් යෝනි මාර්ගයෙන් ඇතුලට ගමන් කරන්න හේතු වෙන්න පුළුවන් නිසා ඉදිරිය සහ පිටුපස වෙන් වෙන්ව පිරිසිදු කරගන්න ඔබට පුළුවන්. 

සනීපාරක්ෂක තුවායක් මාරු කරන්න කලින් ඔබේ දෑත් හොඳින් සෝදගන්නත් අමතක කරන්න එපා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here